විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉන්දියාවේ තෙදින සංචාරයක් සඳහා ඊයේ (03) දිවයිනෙන් පිටව ගියේය.
ඉන්දීය රජයේ නිල ආරාධනයක් අනුව එම සංචාරය සිදුවන අතර මෙම සංචාරය අතරතුරදී විපක්ෂ නායක සහ ඉන්දීය රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හමුවී සාකච්ඡා පැවැත්වීමටත් එරට දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් හමුවීමටත් නියමිතයි.
මෙය විපක්ෂ නායකවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා නිරත වන පළමු ඉන්දීය නිල සංචාරයයි.
ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නවදිල්ලියේ දී ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ (CII) ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක් හමුවූ අතර, එහිදී වෙළෙඳාම, ආයෝජන සහ තාක්ෂණය යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා පුළුල් කථිකාවතක් ගොඩනැංවීමට ඊයේ (3) සමත්ව තිබේ.
වෙළෙඳාම සහ ආයෝජන ප්‍රවාහයන් ඉහළ නැංවීම සඳහා ඉන්දියා – ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කොමිසම යටතේ වෙළෙඳ පහසුකම් සැපයීමේ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී යෝජනා කර ඇති අතර, ඉන්දියානු කර්මාන්ත සඳහා කැප වූ ඉන්දියා-ශ්‍රී ලංකා ඒකාබද්ධ කාර්මික හා තාක්ෂණ වෙළෙඳ කලාපයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය කිරීමට ද ඔහු යෝජනා කළේය.
එසේම පුනර්ජනනීය බලශක්තිය, කෘෂි සැකසුම්, සැපයුම්, සංචාරක සහ අර්ධ සන්නායක වැනි ප්‍රමුඛතා අංශ හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකා-CII ව්‍යාපාරික සංසදයක් පිහිටුවීමට ද විපක්ෂ නායකවරයා යෝජනා කළේය.
තවද ශ්‍රී ලංකාවේ ව්‍යාපාර මෙහෙයුම් පුළුල් කිරීමට ඉන්දියානු ව්‍යාපාරිකයන්ට ආරාධනා කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පවසා සිටියේ විදේශ සෘජු ආයෝජනවලට බාධා කරන ඕනෑම බාධාවන් ඉවත් කිරීමට සහ බහු-පාර්ශ්වික ව්‍යවස්ථාදායක සහාය හරහා පූර්ණ පහසුකම් සැපයීමට කටයුතු කරන බවයි. අනුපූරක නිෂ්පාදන සහ සැකසුම් මධ්‍යස්ථානයක් වීමට ශ්‍රී ලංකාවේ ඇති කැමැත්ත ගෙන හැර දක්වමින් ඉන්දියාවේ අර්ධ සන්නායක මෙහෙයුම් යටතේ සහයෝගීතාවයක් ද හෙතෙම කර ඇත.
සියලු දෙනා ඇතුළත් කර ගත් සහ තාක්ෂණය මෙහෙයවන වර්ධනයේ වැදගත්කම අවධාරණය කරමින්, සංවර්ධනය ජනතාව කේන්ද්‍ර කරගත් සහ ජනතාව මෙහෙයවන මට්ටමක පැවතිය යුතු බවත්, ප්‍රගතියේ ප්‍රතිලාභ සමාජයේ සියලු කොටස් වෙත ළඟා වන බව සහතික කළ යුතු බවත් ඔහු පැවසීය.
එමෙන්ම නිෂ්පාදනය සහ තාක්ෂණය සම්බන්ධයෙන් ඉන්දියාවේ නැගීම ශ්‍රී ලංකාවට අභියෝගයක් නොවන නිසා ඉදිරියේදී සහයෝගයෙන් කටයුතු කිරීමට ආරාධනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසීය.





