/ Feb 05, 2025

පොලිස් ඇමැති ගෙදර යවන්නැයි පොහොට්ටු පෙත්සමක්!

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ අඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඒ ආනන්ද විජේපාල අමාත්‍යවරයා ජනාධිපතිවරයාගේ කාර්යය මණ්ඩල ප්‍රධානි තනතුර දරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට අමාත්‍ය ආනන්ද විජේපාලට සුදුසුකමක් නොමැති බව සඳහන් කරමින්.

එහි වගඋත්තරකරු ලෙස අමාත්‍ය ආනන්ද විජේපාල, පාර්ලිමේන්තු මහලේකම් සහ නීතිපතිවරයා නම් කර ඇත.

ඔහු අදාළ පෙත්සම මගින් දක්වා ඇත්තේ වග උත්තරකර ආනන්ද විජේපාල මහජන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉකුත් නොවැම්බර් මස 18‍ වෙනිදා පත්කරන ලද බවයි.

පසුව ඉකුත් දෙසැම්බර් මස 10 වන දා නිකුත් වූ සන්ඩේ ටයිම්ස් පුවත්පත මගින් ආනන්ද විජේපාල ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් පත් කර තිබෙන බව වාර්තා කර තිබූ බවත් පෙත්සමේ සඳහන්.

පසුව මේ පිළිබඳව තමා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් කළ අතර එහිදී අමාත්‍ය ආනන්ද විජේපාල ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් පත්කර තිබෙන බව තහවුරු කරගත් බවත් පෙත්සම්කරු සඳහන් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වන ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය සේවයේ නිරත අයෙකු පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් නොලබන බව දක්වා ඇතැයි පෙත්සම්කරු පවසයි.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ආනන්ද විජේපාල අමාත්‍යවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දුකොට ඔහුගේ මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top