/ Jun 18, 2025

“නිදියන්න තැනක් දුන්නේ නෑ”; පිල්ලෙයාන් මිලියන 100ක වන්දියක් ඉල්ලයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම මගින් සිය මූලික අයිතිවාසිකම් කඩ වූ බව පවසමින් හිටපු රාජ්‍ය ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් රුපියල් මිලියන100 ක වන්දි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබා සිටින කාලය තුළ තමාට නිදා ගැනීමට සුදුසු ස්ථානයක් ලබා නොදීම මගින් ද සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරන ලෙස පෙත්සම්කරු සිය පෙත්සම මගින් ඉල්ලා තිබේ.

පිල්ලෙයාන් විසින් ගොනු කර ඇති පෙත්සමෙහි වග උත්තරකරුවන් ලෙස රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති මාධව ගුණවර්ධන රහස් පොලිසියේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ආරක්ෂක ඇමති අනුර කුමාර දිසානායක, සහ නීතිපතිවරයා නම් කර ඇත.

පිල්ලෙයාන් පසුගිය දා (අප්‍රේල් 8) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ 2004 සිට 2006 දක්වා උපකුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවිද්‍රනාත් පැහැරගෙන යාම සහ ඔහු අතුරුදන් කරවීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළවයි.

ඒ අනුව ඔහුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට කටයුතු කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top