/ Feb 16, 2026

පින්නවලට වසර 51ක් සපිරෙයි – 51 සමරමින් තවත් අලුත් මධ්‍යස්ථානයක් එක් වෙයි!

පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානය අද (16) වන දින සිය 51 වන සංවත්සරය සමරනු ලබයි.

පරිසර අමාත්‍යාංශයේ විෂය පථයට අයත් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මෙම පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානය තුළ 51 වෙනි සංවත්සරයට අදාළව “නිදහස් අලි අරණ” නව මධ්‍යස්ථානය ද විවෘත කෙරුණි.

ඒ, පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙනි.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර් උඩුවාවල මහතා, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.සී. රාජපක්ෂ මහතා, පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මිහිරාන් මැදවල මහතා ඇතුළු කාර්යමණ්ඩලය, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත රණසිංහ මහතා, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරින් මෙන්ම ප්‍රදේශයේ පෙර පාසල් සිසුන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආසියානු පිරිමි අලින් ලිංගික පරිණත්වයට පැමිණි විට “මද” (musth) ලෙස හැඳින්වෙන කාල පරිච්ඡේදයකට පිවිසීම සාමාන්‍ය ලක්ෂණයක් වන අතර එම අවස්ථාවේදී ඔවුන් ආරක්ෂිතව හා විධිමත් ක්‍රමවේදයන්ට අනුව කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය වෙයි.

මෙම අවශ්‍යතාවය සපුරාලමින්, නවීන සත්වෝද්‍යාන හා සත්ත්ව සුභසාධන සංකල්පයන්ට අනුගතව වැඩිහිටි පිරිමි අලින් නිදහසේ තැබීම සඳහා “නිදහස් අලි අරණ” ස්ථාපිත කර තිබේ.

වත්මන් රජයේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියට අයත් “සොබාමත් ශ්‍රී ලංකාවක්” – යටතේ, තිරසර ⁣⁣ජෛව ලෝකයක් – සදාහරිත ජීවිතයක්, තේමාව රැගත් සමරු කාඩ් පතද පෙරපාසල් දරුවන් වෙත ලබා දීම පිණිස පිරිනැමීම ද අද (16) පරිසර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

51 වන සංවත්සරය සමරමින් පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථාන පරිශ්‍රයේ පැලයක් රෝපණය කිරීමද අමාත්‍යවරයා විසින් සිදුඅක්රන ලදී.

මෙම 51 වන සංවත්සරය සමගාමීව අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් හා කාර්ය මණ්ඩල සුබසාධන වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, අලි රැකවරණ තාක්ෂණය හා විද්‍යාත්මක කළමනාකරණ ක්‍රමවේදයන් තවදුරටත් දියුණු කිරීම මධ්‍යස්ථානයේ අරමුණ වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top