ඉරාන අගනුවර වන ටෙහෙරානයේ ප්‍රධාන වීදිවල රජයට පක්ෂපාතී විරෝධතාකරුවන් රැස්ව සිටින අතර,ඔවුන් එක්සත් ජනපද – ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාර හෙළාදකිමින් විරෝධතාවේ නියැලෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ගැටුම් ආරම්භ වී දින 25ක් ගතවී තිබෙන පසුබිමක යුද බිය නොසලකා ජනතාව එලෙස එකතු වී සිටීම සුවිශේෂී ධෛර්යයක් බව විශ්ලේෂකයින් පෙන්වා දී තිබේ.
ඉරාන ධජ ලෙළවමින් සිය රජයට සහය දැක්වීම වෙනුවෙන් නිරන්තර හඬ නැගීමක ඔවුන් සිටින බව සඳහන්.
රටේ වත්මන් උත්තරීතර නායක මොජ්තාබා කමේනි සහ ඔහුගේ පූර්වගාමීන්ගේ රූප කැපී පෙනෙන ලෙස ප්‍රදර්ශනය කරමින් විප්ලව චතුරශ්‍රය ලෙසද හැඳින්වෙන එංගෙලාබ් චතුරශ්‍රයට අද අලුයම වන විටත් සිය ගණනක් ජනයා රැස්ව ඇති බව සඳහන්.
අගනුවර පමණක් නොව ටෙහෙරානයට බටහිරින් පිහිටි උප නගරයක් වන කරජ් හි මෙන්ම ඉරාකයේ මායිම අසල බටහිර ඉරානයේ ඉලාම් හි සහ කැස්පියන් මුහුද අසල උතුරු නගරයක් වන සාරි හි ද එලෙස ජනය එක්රැස් වෙමින් ඉරාන රජයට සහය පළකරමින් පසුවෙන බව වාර්තා වෙයි.





