සිරදඬුවම් ලබා සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් ජනාධිපති ලේකම් කාර්යාලය අසළ ඊයේ (15) පස්වරුවේ විරෝධතාවක් ආරම්භ කළ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් මේ වනවිටත් එම ස්ථානයේ රැඳී සිටිති.
මහනුවර සිට දින හයක් තිස්සේ පාගමනින් කොළඹට පැමිණි මෙම භික්ෂූන් වහන්සේලා ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණියේය.
ඊයේ රාත්රියේදී විටින් විට යම් උණුසුම්කාරී තත්ත්වයක් එම ස්ථානයේ ඇති වූ අතර උන්වහන්සේලාව හමුවීමට ජනාධිපති ලේකම් සනත් නන්දික කුමානායක මහතා පැමිණි අතර උන්වහන්සේලාගේ ඉල්ලීම් පිළිබඳ සලකා බලන නමුත් නීතියට අනුව කටයුතු කරන බව ජනාධිපති ලේකම්වරයා පැහැදිලි කරන ලදී.
එහිදී භික්ෂූන් වහන්සේලා ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් ලබාදුන් ජනාධිපති සමාවේ ඇති බව කියන තාක්ෂණික දෝෂය නිවැරදි කර දෙන ලෙසය.
ඒ පිළිබඳ තීරණයක් ගැනීම සඳහා මාසයක කාලයක් ලබාදෙන ලෙස ජනාධිපති ලේකම්වරයා දැනුම් දෙන ලදී.
කෙසේවෙතත් උන්වහන්සේලා ජනාධිපති ලේකම්වරයාගේ ප්රකාශය පිළිනොගත් අතර උන්වහන්සේලා එම ස්ථානයේ ර රැඳී සිටීමට තීරණය කර තිබේ.
ඒ අනුව මේ වන විටත් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවේ නිරත වෙමින් පසුවෙති.





