නුගේගොඩ අනුලා විද්‍යාලය සහ කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලය අතර පැවැත්වෙන “රැජිනියන්ගේ සටන” (Queens’ Clash) වාර්ෂික මහා ක්‍රිකට් තරඟයේ නිල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම පසුගිය ජූලි 13 දා කොළඹ මහවැලි කේන්ද්‍රයේදී නිල වශයෙන් පැවැත්විණි.
තරඟ වැදෙන බාලිකා පාසල් දෙකෙහි විදුහල්පතිනියන්, ආදි ශිෂ්‍ය සංගම් නියෝජිතයන්, කණ්ඩායම් දෙකෙහි නායිකාවන් සහ ක්‍රීඩිකාවන් ඇතුළු පිරිසක් මීට සහභාගි වී සිටි අතර එහිදී උත්සවාකාරයෙන් ප්‍රවේශ පත්‍ර ජනගත කරනු ලැබීය.
මෙම උත්සවය අවසානයේදී පාසල් ප්‍රධානීන් සහ කණ්ඩායම් නායිකාවන්ගේ සහභාගීත්වයෙන් මෙවර තරඟාවලිය සඳහා වන නිල සූරතා කුසලානය (Trophy Unveiling) ද නිරාවරණය කරනු ලැබීය.
මෙම ඓතිහාසික බාලිකා මහා ක්‍රිකට් තරඟාවලියේ ප්‍රථම අදියර 2025 ඔක්තෝබර් 31 වනදා පැවැත්වුණි. එහිදී ලකුණු 150ක විශිෂ්ට ජයක් ලබමින් මංගල රැජිනියන්ගේ සටනේ ශූරතාව දිනා ගැනීමට නුගේගොඩ අනුලා විද්‍යාලය සමත් විය. එම තරඟයේදී අනුලා විද්‍යාලය පන්දුවාර 50 තුළ කඩුලු 3කට ලකුණු 262ක් රැස් කළ අතර, ගෝතමී බාලිකා විද්‍යාලයට ලබාගත හැකි වූයේ ලකුණු 112ක් පමණි.
කෙසේ වෙතත්, මෙවර තමන් ඇතුළු කණ්ඩායම මනා තරඟයක් ලබා දෙන බව ගෝතමී බාලිකා විද්‍යාලයේ ක්‍රිකට් නායිකා, සුහදී අසල්‍යා පැවසුවා ය.
ක්‍රිකට් තරඟය ජුලි මස 31 වැනි දා දවස පුරා කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර ප්‍රවේශ පත්‍ර පාසල් දෙකෙහි ආදි ශිෂ්‍ය සංගම් (Past Pupils Associations – PPA) කාර්යාල හරහා මෙන්ම අදාළ පාසල් පරිශ්‍රයන්ගෙන් මිලදී ගැනීමට කටයුතු සූදානම් කර ඇත.









