දිවයිනට පැමිණි අවසන් ගල්අඟුරු නෞකාවේ අඩංගු ගල්අඟුරුවල තත්ත්වය සහ ඊට පෙර පැමිණි නෞකා දෙකෙහි ප්‍රමිති වාර්තා මීළඟ රැස්වීමට ඉදිරිපත් කරන ලෙස යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිලධාරීන්ට නියෝග කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් එම ආංශික කාරක සභාව රැස්ව තිබුණි.
එහිදී විදුලිබල නිෂ්පාදනය සඳහා ආනයනය කරන ගල්අඟුරු තොගවල ගුණාත්මකභාවය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු විමසා තිබෙන අතර එහිදී අවසන් වරට මෙරටට ලැබුණු ගල්අඟුරු තොගවල ප්‍රමිතියේ යම් ගැටලුවක් පවතින්නේද යන්න පිළිබඳව සභාපතිවරයා විසින් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර ඇත.
බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා ගල්අඟුරු සමාගමේ නිලධාරීන් මෙහිදී පවසා ඇත්තේ, අදාළ නෞකා තුනෙහි ගල්අඟුරු සාම්පල වැඩිදුර තත්ත්ව පරීක්ෂාව සඳහා ඉන්දියාවේ රසායනාගාර වෙත යොමු කර ඇති බවයි.
එම වාර්තා ලැබීමෙන් පසු ප්‍රමිතිය පිළිබඳ නිශ්චිත නිගමනයකට එළඹිය හැකි බව ඔවුන් ප්‍රකාශ කර ඇත.
ගල්අඟුරු ආනයනය කිරීමේ ක්‍රියාවලිය සහ එම ගනුදෙනුවල විනිවිදභාවය පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කර ගැනීම සඳහා, අදාළ ගනුදෙනුව සිදුවන සමයේ සේවය කළ සීමාසහිත ලංකා ගල්අඟුරු (පුද්ගලික) සමාගමේ හිටපු සභාපතිවරයා මීළඟ කාරක සභා රැස්වීමට කැඳවීමටද තීරණය වී තිබේ.





