ප්‍රශ්නගත ‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ ඖෂධය සම්බන්ධයෙන් විකෘති කරන ලද තොරතුරු ප්‍රචාරය එන අතර මේ ඇතැමුන් සිදුකරන ප්‍රකාශ ගැන සොයා බලා එහි සත්‍ය අසත්‍ය බව තහවුරු කරගැනීමෙන් අනතුරුව පළකරන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අවධාරණය කළේය.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති විශේෂ මාධ්‍ය හමුවේදීය.
එම ඖෂධය සම්බන්ධයෙන් ජනතව නොමඟ වන සුළු ප්‍රචාර සිදුවෙමින් පැවති බවයි විජේවික්‍රම මහතා සඳහන් කළේ.
ඒ අනුව එම ඖෂධය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කිරීමට ගත් තීරණය ගැන එහිදී ඔහු පැහැදිලි කිරීමක් කරන ලදී.
‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ ඖෂධය භාවිතා කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළේ පසුගිය 12 වැනිදා. මේ අත්හිටුවීමට හේතු වුණේ වාර්තා වූ මරණ නෙවෙයි. මරණ ගැන වාර්තා වීමක් ඒවෙනකොට සිද්ධ වෙලා තිබුණේ නැහැ. ඒක ඉතාම පැහැදිලිව සඳහන් කළ යුතුයි. සිද්ධිය වුණේ මේ ආකාරයෙන්. සිකුරාදා උදේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුමාට දැනගන්න ලැබුණා මේ ඖෂධය තුළ යම්කිසි විෂබීජයක් ඇති බවට තොරතුරු. මෙවැනි අවස්ථාවල අපේ විශේෂඥවෛද්‍යවරුන් සහ ඖෂධ ඇගයීම් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් තියෙනවා. ඒ කමිටුව වහාම සාකච්ජා කරලා මේකට අදාළව සැක හිතෙන ඖෂධයේ කාණ්ඩ හතරක් වහාම භාවිතයෙන් ඉවත්කරන්න කියල තීරණය කරලා වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දුන්නා. එමඟින් වෛද්‍ය සැපයුම් අංශය රෝහල් වෙතට දැනුම් දුන්නා. ඊට පස්සේ සෙනසුරාදා අපිට දැනගන්න ලැබුණා IDH රෝහලට ඇතුළත් කරපු රෝගියෙක් මිය යාමක් සම්බන්ධයෙන්. මේ ගැන රෝහලෙන් හොයල බැලුවහම මිය ගිය රෝගියාටත් මේ ඖෂධය දීලා තියෙනවා. සිකුරාදා රෑ තවත් රෝගීන් දෙදෙනෙක් අසාධ්‍ය තත්ත්වයෙන් සිටින බව දැනගන්න ලැබුණා. එක රෝගියෙක් පසුවෙනිදා මිය ගියා. ඒ රෝගියාටත් මේ ඖෂධය දී ඇති බව දැනගන්න ලැබුණා. ඒ ඖෂධ ලබා දීමත් එක්ක මේ මරණ සම්බන්ධ ද කියන සැකය තියෙනවා. ඒ අනුව සොයා බැලීම් කරගෙන යනවා. එහෙම නැතුව අපි දුටුවා ජාතික පුවත්පතක හෙඩ් ලයින් එකක් පළකරනවා රෝගීන් දෙදෙනෙක් මැරුණා මේ ඖෂධය දීලා කියල. ඇත්තටම ඒවා හරිම කණගාටුයි. තවම අපි හොයා බලමින්, පරීක්ෂණ කරමින් තියෙන කාරණා. එහෙම නිගමනයන් පළවෙන්නේ කොහොමද කියන කාරණය මට හිතාගන්න බැහැ. යළිත් පසුගිය සදුදා මේ කමිටුව රැස්වෙලා සාකච්ජා කරලා මේ ඖෂධය නිෂ්පාදනය කිරීමේ ක්‍රියාදාමයේ යම්කිසි ගැටළුවක් තියේද කියන සැකය මතුවුණා. ඒ නිසා මේ කර්මාන්ත ශාලාව මඟින් නිෂ්පාදනය කරන අනෙකුත් ඉන්ජෙක්ෂන්ස් තාවකාලිකව භාවිතය අත්හිටුවන්න තීරණය කළා. ඒ ගැන තහවුරු කරගන්නා තුරු.”
ඒ අනුව මේ වන විට රෝහල් කිහිපයකින්ම එම ඖෂධයේ සාම්පල් කිහිපයක් පරීක්ෂණයට යොමුකර් තිබෙන බව ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රකාශ කළේය. එම පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් වූ පසු ඒ ගැන පැහැදිලි කිරීමක් ලබාදෙන බවද ඔහු සඳහන් කරන ලදී.





