හිටපු අධිකරණ ඇමති විජයදාස රාපක්ෂගේ පුත්‍රයා වන නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන තිදෙනා ජූලි 03 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඔවුන් තිදෙනා අද (25) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගැනුණු අතර අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.
සංවිධානාත්මක අපරාධකරුවකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ රඳවා ගැනීමේ නියෝගවලින් ඉවත් කර වෙනම බන්ධනාගාරයකට යොමු කිරීම වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට අල්ලස් දී ඔහුව සාමාන්‍ය සිරකරුවෙකු ලෙස රඳවා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 1,200 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අල්ල හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනූෂා සම්බන්ධප්පෙරුම කරුණු දැක්වීමෙන් අනතුරුව ප්‍රධාන සැකකරු වන සමඟි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසුවේ සිය සේවාදායකයා හට අවුරුදු 60 පැන්නට පස්සේ එන්න ඕන සියලු රෝග දැන් ඔහුට අවාසනාවකට මෙන් වැළඳිලා තිබෙන බවයි. දැනටමත් ඔහු හෘදයාබාධයකින් පෙළන පුද්ගලයෙක් වන අතර ඔහුට ස්ටෙන්ට් හතරක් දමා ඇති බවත් තවත් පහක් දැමීමට තිබෙන බවත් නීතිඥවරයා පැවුවේය.
මෙම තත්ත්වය මත ඒවා සුවිශේෂී කරුණු සේ සලකා සැකකරුට ඇප ප්‍රදානය කරන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබුණි.
මේ අතර සැකකාර නීතිඥ රඛිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා තිබුණේ “ස්ලීප් ඇප්නියා” රෝගී තත්ත්වය පවතින බවයි.
ඒ බව තහවුරු කරන වෛද්‍ය වාර්තා ද මම අධිකරණයට ඉදිරිපත් කරනවා. එම රෝගී තත්ත්වයෙන් පසුවන පුද්ගලයෙකු බන්ධනාගාරය තුළ රැඳී සිටීම සුදුසු නැහැ. ඒ නිසා ජීවිත අවදානමක් පවා ඇතිවෙන්න පුළුවන්. මෙම කරුණු සියල්ල සුවිශේෂි කරුණු සේ සලකා මගේ සේවාදායකයාට ඇප නියම කරන ලෙස මා ඉල්ලා සිටිනවා,” යනුවෙන් ජනාධිපති නීතිඥවරයා පවසා ඇත.
එමෙන්ම ඔහු නීතිඥයෙක් වන හෙයින් ඔහු භාරගත් නඩු විශාල සංඛ්‍යාවක් විවිධ අධිකරණවල පවතින හෙයින් ඔහු රිමාන්ඩ් භාරයට පත්වුවහොත් එම නඩුවලට පෙනී සිටීමේ හැකියාවක් නොලැබෙන බවයි.
ඒ අනුව මෙම කරුණු විශේෂ කොට සලකා ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියද සැකකරුවන් සම්බන්ධයෙන් ඇප ලබා ගැනීම සඳහා සුවිශේෂී කරුණු ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති නිසා ඔවුන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.






