මර්දනකාරී නීති ආරක්ෂා කළ ඇතැමුන් අද එම නීතිවලම ගොදුරු බවට පත්වෙද්දී ඒවා අහෝසි කළ යුතු බව පැවසූ ඇතැමුන් ඒවා මතම රඳා පවතින තත්ත්වයකට පත්ව ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස් පවසයි.
ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ දිගු කාලයක් පුරා අනුක්‍රමික ආණ්ඩු විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA), ICCPR පනත සහ හදිසි නීති රෙගුලාසි වැනි දැඩි හා මර්දනකාරී නීති අනිසි ලෙස භාවිත කළ බවයි.
එම නීති යටතේ පුද්ගලයන් අනවශ්‍ය ලෙස දිගු කාලයක් රැඳවුම් භාරයේ තබා ගැනීමට කටයුතු කර ඇති අතර, පොලිස් හා බන්ධනාගාර භාරයේදී වධහිංසා සහ අමානුෂික සැලකීම් පවත්වාගෙන යාමට ද ඒවා යොදාගෙන ඇති බව ඔහු පෙන්වා දෙයි.
පුද්ගලයකු රැඳවුම් භාරයේ තැබීම පිළිබඳ තීරණය විධායක බලධාරීන් නොව නීතිය අනුව කටයුතු කරන විනිසුරුවන් විසින් ගත යුතු බවද ඔහු අවධාරණය කර ඇත.
කවර පුද්ගලයකු සම්බන්ධයෙන් වුවද, ඔහුට හෝ ඇයට එල්ල වී ඇති චෝදනා කුමක් වුවද, මානව ගෞරවය, නීතියේ ආරක්ෂාව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තියෙන් සහතික කර ඇති නිදහස භුක්ති විඳීමේ අයිතිය හිමිවන බව සාලිය පීරිස් වැඩිදුරටත් සඳහන් කර ඇත.
එම ආරක්ෂණයන් අදාළ පුද්ගලයා කවුරුන්ද යන්න මත පදනම්ව වෙනස් නොවිය යුතු බව ද ඔහු සිය සටහනෙන් අවධාරණය කර තිබේ.
මානෙල් ඩේවිඩ්






