/ Jun 18, 2025

අත්අඩංගුවට ගත්තේ ඇයිදැයි සේමිණි කියයි

ජනප්‍රිය නිළි සේමිණී ඉද්දමල්ගොඩ (10) දින අත්අඩංගුවට ගනු ලැබීය. වාර්තා පළ වූයේ ඒ මූල්‍ය චෝදනා කිහිපයකට බවයි. අධිකරණයෙන් ඇප ලබා ගෙන ඇති ඇය සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක් පළ කර තිබේ. එය පහත දැක්වේ.

ඇත්ත ඇති සැටියෙන්…

ඊයේ රාත්‍රී මාගේ සැමියාගේ මෝටර් රථය පාර්ලිමේන්තු පාරේදී අනතුරකට ලක්වූ අතර අනතුරෙන් පසු ඔහු වැලිකඩ පොලීසියට ගියා. ඒ පිළිබව සැලවී‍මෙන් අනතුරුව මමද ඒ අවස්ථාවේම පොලීසියට ගියා. එහිදී එම ස්ථානයේ සිටි පොලිස් නිළධාරියෙක් ඔයාට වරෙන්තු වගයක් තියෙනවායැයි පවසා මාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරා. ඒ පිළිබඳව එම නිළධාරියා මුලින් පැවසූ විටදී මා සිතුවේ ඔහු විහිළුවක් කරා කියලයි. මොකද මං එතෙක් මා වෙත එවැනි වරෙන්තු නිකුත් කිරීමක් සිදු කර ඇති බව දැනගෙන සිටියේ නැහැ. පසුව ඔහු ඒ පිළිබඳව සටහන් තබා උදෑසන වනතුරු මාව පොලීසියේ රඳවා තබාගෙන සිට අනතුරුව අද දින උදෑසන උසාවියට ඉදිරිපත් කරා. ඇත්තටම මේක කම්කරු උසාවිය සම්බන්ධ ප්‍රශ්නයක්. නමුත් මෙම සිදුවීම මූල්‍ය චෝදනාවක් ලෙස හුවා දැක්වීමක් සිදු වූ බව ඇප ලබා පිටතට පැමිණි පසුව මට දැන ගැනීමට ලැබුණා. සැබෑ සිදුවීම වන්නේ මට අයත් ව්‍යාපාර අතර පවතින පුද්ගලික ආරක්ෂක සේවා ලබාදෙන ව්‍යාපාරයේ සේවකයන්ගේ සේවක අර්ථ සාධක අරමුදල් පිලිබද ඇති වු ගැටලුවකි. ඊට අදාල සිතාසි 07ක් මේ වනතුරු මට ලැබී තිබුණේ නැහැ. ඒවා බාර දී තිබුණා යැයි පැවසුවේ මෙම සේවාවට අයත් පරණ කාර්යාලයකටයි. ඒ පිළිබඳව මම කිසිදු දැනුවත් වීමක් නැහැ. කෙසේ වෙතත් ඔය කියන කම්කරු කාරණා 07 ටම අදාල සියලු ගෙවීම් මේ වනවිටද මවිසින් සිදු කර අවසන්. ඊට අදාල සියලුම ලියකියිවලි මා සන්තකයේ තිබී ගරු අධිකරනයට ඉදිරිපත් කළ අතර ගරු අධිකරනය විසින් ඉතා කෙටි වේලාවක් තුළ මට ඇප ලබා දීමට කටයුතු කරා.ඒ සදහා ගරු අධිකරනයට ස්තුති වන්ත වන අතර මෙවැනි සිදුවීමක් රටේ කවර තරාතිරමක පුද්ගලයෙකුට වුව සිදුවිය හැකි වුණත් මා වැන්නෙකුට එවැන්නක් සිදුවීම පෞද්ගලිකව ඉතාම ඛේදනීය වටපිටාවක් ගොඩනගන සිදුවීම් දාමයකට මග පාදනවා. අද සිදුවූයේත් එවැන්නක්. කරුණු කාරණා නොසොයා ඒකමතිකව මාව වරදකරු කර පුළුවන්නං තවත් අභූත චෝදනා රැසකුත් පටබැඳ පතුරුවාහැරීමට සමහර පුද්ගලයින් කටයුතු කරන ආකාරයක් දැකගන්න ලැබුණා. ඒ පිළිබඳව ඇත්තටම පවතින්නේ දුකක් නොව කලකිරීමක්. සිදු වූ සිදුවීමේ සත්‍ය ඇති සැටියෙන්ම මං මෙහි සඳහන් කර තිබෙනවා. මේ සුළු වේලාව තුළ අසත්‍ය චෝදනා පැතිර වූවන්ට සත්‍යය අවබෝධ වේවා යන්න මගේ පැතුමයි. ඒ වගේම ඊයේ රාත්‍රියේ සිට මා සමග රැදී සිටි සහ මා පිළිබදව සොයා බැලු සියලුම මිතුර මිතුරියන්ට හා මාගේ ප්‍රාන සම ආදරනීය ප්‍රේක්ශකයන්ට අනේක වාරයක් ස්තුතියි. ආදරෙයි ..❤️❤️❤️

සේමිණි ඉද්දමල්ගොඩ

2025/05/11

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top