/ Jan 23, 2026

නවක වධයෙන් සබරගමු සිසුවා මියයෑමේ සිද්ධිය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්!

නවක වධ සිද්ධියක් මුල්කරගනිමින් සියදිවි හානිකරගෙන තිබූ සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුවෙකු වූ චරිත් දිල්ෂාන් දයානන්දගේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ( 18) දින අවසර ලබා දුන්නේය.

බරපතළ නවක වධ තත්ත්වයකට මුහුණ දීමෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත්, ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසත් නීතීඥ සංගමය ඉන් ඉල්ලා තිබුණි.

සබරගමුව විශ්වවිද්‍යාලය, එහි උපකුලපතිවරයා ඇතුළු පාලක සභාවේ සාමාජිකයින්, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක ලේකම්, පොලිස්පති, නීතිපතිවරයා ඇතුළු 69 දෙනෙකු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති අතර ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ රජීව් අමරසූරිය සහ එහි ලේකම් චතුර ගල්හේන යන අය මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

එම පෙත්සම යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලූ අතර පෙත්සම විභාගයට ගැනීමට අවසර දුන් විනිසුරු මඩුල්ල, නවකවධය වැළැක්වීමේ පනත යටතේ ක්‍රියාත්මක වූ සිද්ධීන් සම්බන්ධයෙන් පුළුල් වාර්තා කැඳවා තිබේ.

ඒ අනුව නවක වධ සිද්ධීන් සම්බන්ධයෙන් මේ වන විට විභාග කොට අවසන් වූ සහ දැනට විභාග වෙමින් පවතින සිද්ධීන් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට සහ නීතිපතිවරයාට නියෝග කර ඇත.

රාජ්‍ය විශ්වවිද්‍යාලවල නවකවධ සිද්ධීන් සම්බන්ධයෙන් ගනු ලැබූ විනය ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කෙරුණි. එමෙන්ම සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වධය හේතුවෙන් පීඩාවට පත්වූ සිසු සිසුවියන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට විනිසුරු මඩුල්ල නියෝගයක් නිකුත් කළ අතර උක්ත පෙත්සම් විභාගය සඳහා ලබන වසරේ අප්‍රේල් මස 29 වන දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top