/ Apr 09, 2026

සටන් විරාමය අනතුරක : ඊශ්‍රායෙලයෙන් ලෙබනනයට දරුණු ප්‍රහාර!

ඇමරිකාව සහ ඉරානය අතර ඇති කරගත් සති දෙකක සටන් විරාමය (අද) බ්‍රහස්පතින්දා වන විට දැඩි අවදානමකට ලක්ව ඇත. ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ලද දැවැන්ත බෝම්බ ප්‍රහාර හමුවේ නැවත සටන් ආරම්භ කරන බවට ටෙහෙරානය අනතුරු අඟවයි. ලෙබනන සිවිල් ආරක්ෂක අංශවලට අනුව එම ප්‍රහාරවලින් පුද්ගලයන් 254 දෙනෙකු මියගොස් තිබේ.

මෙහි ප්‍රතිඵලයක් ලෙස, හෝමූස් සමුද්‍ර සන්ධිය කොන්දේසි සහිතව විවෘත කිරීමේ තීරණය ද අස්ථාවර වී ඇත. ඊශ්‍රායලය දිගින් දිගටම ලෙබනනයට ප්‍රහාර එල්ල කරන්නේ නම් මෙම මුහුදු මාර්ගය නැවත වසා දමන බවට ඉරානය තර්ජනය කරයි. මේ අතර, “සටන් විරාම උල්ලංඝනය කිරීම්වලට” ප්‍රතිචාර ලෙස අද අලුයම 4:00 ට පමණ උතුරු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කළ බව හිස්බුල්ලා සංවිධානය ප්‍රකාශ කළේය.

ඇමරිකාව සහ ඉරානය යන දෙපාර්ශවයම මෙම සටන් විරාමය තම ජයග්‍රහණයක් ලෙස හඳුන්වා ගත්තද, මාර්තු මුල සිට හිස්බුල්ලා සංවිධානය යුද්ධයට සම්බන්ධ වූ පසු එල්ල වූ දරුණුතම ප්‍රහාර ඊශ්‍රායලය විසින් ලෙබනනයට (බීරූට් නුවර මධ්‍යයට පවා) එල්ල කිරීමත් සමඟ දෙරට අතර එකඟතාවල ඉරිතැලීම් ඇති වී තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී වොල්කර් ටර්ක් මෙම සමූහ ඝාතන “බියජනක” බව පැවසූ අතර, කිසිදු පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව බීරූට් නුවරට බෝම්බ හෙළීම නිසා ජනතාව දැඩි භීතියට පත්ව සිටිති. ජනාකීර්ණ ප්‍රදේශවල සිදුවන මෙම විනාශය ගැන ජාත්‍යන්තර රෙඩ් ක්‍රොස් සංවිධානය ද සිය දැඩි කගාටුව පළ කර ඇත.

  • ඉරානයේ අනතුරු ඇඟවීම: ඊශ්‍රායලය ප්‍රහාර නතර නොකළහොත් තමන් “යුතුකම ඉටු කරමින් ප්‍රතිචාර දක්වන” බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය පවසයි. හෝමූස් සමුද්‍ර සන්ධියේ ස්වයංඝාතක බෝම්බ අවදානමක් ඇති බැවින් නෞකා සඳහා විකල්ප මාර්ග ද ඉරානය විසින් ප්‍රකාශයට පත් කර ඇත.
  • ලෙබනනය සටන් විරාමයට අදාළ නැත: ට්‍රම්ප් පරිපාලනය බදාදා ප්‍රකාශ කළේ ලෙබනනය මෙම සටන් විරාම ගිවිසුමේ කොටසක් නොවන බවයි. ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් පැවසුවේ ලෙබනනය සටන් විරාමයට ඇතුළත් කරන බවට ඇමරිකාව කිසිවිටෙකත් පොරොන්දු නොවූ බවත්, ඉරානය එය වැරදියට වටහාගෙන ඇති බවත්ය.
  • සාම සැලසුම පිළිබඳ මතභේද: ඉරානය ඉදිරිපත් කළ කරුණු 10 කින් යුත් මුල් සැලසුම ට්‍රම්ප් විසින් “කුණු කූඩයට දැමූ” බව ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය ප්‍රකාශ කළාය. ඇය පවසන්නේ ට්‍රම්ප් සාකච්ඡා කරන්නේ ඉරානය විසින් පසුව ඉදිරිපත් කරන ලද වඩාත් ලිහිල් හා කෙටි සැලසුමක් මත බවයි.
  • ජාත්‍යන්තර මැදිහත්වීම: ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරයා සටන් විරාමයට ලෙබනනය ද ඇතුළත් කරන ලෙස ට්‍රම්ප්ගෙන් සහ ඉරාන ජනාධිපති පෙසෙෂ්කියන්ගෙන් ඉල්ලා සිටියේය.
  • ට්‍රම්ප් සහ නේටෝ (NATO): නේටෝ සංවිධානයේ මිත්‍ර රටවල් කෙරෙහි ට්‍රම්ප් සිය කලකිරීම පළ කර ඇති අතර, නේටෝ මහලේකම් මාර්ක් රූට් සමඟ පැය දෙකකට වැඩි කාලයක් ධවල මන්දිරයේදී ඔහු සාකච්ඡා පවත්වා ඇත.
  • බ්‍රිතාන්‍ය මැදිහත්වීම: බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනයට විශ්වාසයක් ඇති කිරීම සඳහා සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු ඇතුළු කලාපීය නායකයින් හමුවෙමින් මැදපෙරදිග සංචාරයක නිරත වේ.

පාකිස්තානයේ පැවැත්වීමට නියමිත තීරණාත්මක සාකච්ඡාවලට පෙර මෙම උණුසුම්කාරී වාතාවරණය නිර්මාණය වී තිබේ.

1 thought on “සටන් විරාමය අනතුරක : ඊශ්‍රායෙලයෙන් ලෙබනනයට දරුණු ප්‍රහාර!”

  1. Is the Geneva Commission that sounded their presence at the time Sri lanka Government was struggling at war against LTTE , still existing ?. Is the rule of law or international law applicable equally to all states. Why so late collective action of UNO to stop war

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top