/ Nov 13, 2025

ඩයනාගේ නඩුවේ සාක්ෂි විභාගය ඇරඹේ!

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොණු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද (30) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ආරම්භ විය.

විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරිම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම යන චෝදනා යටතේ ඇයට එරෙහිව නඩුව පවරා තිබුණි.

අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්තිකාර ඩයනා ගමගේ වෙත අධිකරණය විසින් චෝදනා කියවා දුන් අතර, එම චෝදනාවලට තමන් නිවැරදිකරු බව ඇය ප්‍රකාශ කර තිබේ.

එහිදී රජයේ නීතීඥ අකිලා ධර්මධාතු මහත්මියගේ මෙහෙයවීම යටතේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරි හංසිකා කුමාරසිරි මහත්මිගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවූ අතර අනතුරුව නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස 15 දක්වා කල් තැබීය.

මෙම නඩුව, 2016 වසරේ ජුලි මස 14 වනදා සිට 2020 වසරේ නොවැම්බර් මස පළවනදා අතර කාලසීමාව තුළ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම සහ විදේශ ගමන්බලපත්‍රයක් ලබාගැනීම සඳහා ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍යය තොරතුරු ලබාදීම තුළින් ආගමන හා විගමන පාලක පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයාගේ උපදෙස් මත චෝදනා 07ක් යටතේ ගොණු කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top