/ Nov 17, 2025

වැලිගම සභාපති ඝාතනයේ 07ක් බන්ධනාගාරයට!

වැලිගම ප්‍රාදේශීය සභවේ සභාපති ලසන්ත වික්‍රමසේකර වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 07 දෙනෙකු නොවැම්බර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අද (30) මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක මහතා නියෝග කළේය.

මෙම ඝාතන සිද්ධියට අදාළව වෙඩික්කරු, යතුරුපැදිකරු ඇතුළු සැකකරුවන් 9 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව සිටින අතර ඒ අතරින් වෙඩික්කරු හා යතුරුපැදිකරු හැර වෙඩික්කරුගේ බිරිඳ, කැකිරාවේදී සැඟව සිටීමට ආධාර අනුබල දුන් අයෙක්, බොරැල්ල සහස්පුර ප්‍රදේශයේදී වෙඩික්කරුට සහාය දුන් පුද්ගලයින් දෙදෙනෙක් වෙඩික්කරුට ඝාතනයට පෙර සහ පසු ප්‍රවාහන පහසුකම් සැපයූ ගාල්ල අගුළුගහ පදිංචි ත්‍රීරෝද රථ රියදුරෙක්, ඝාතනයට යොදාගත් යතුරුපැදිය ස්ටාටර් මෝටරය සවිකර අලුත්වැඩියාව කර දුන් වැලිගම වලානේ ගරාජ් හිමිකරු හා එම යතුරුපැදිය ඝාතකයින්ට ගෙනවිත් දුන් පොල්අතුමෝදර තරුණයෙක් මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව නඩුව කැඳවූ අවස්ථාවේ මහෙස්ත්‍රාත්වරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් ප්‍රශ්නකර සිටියේ අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා හා අනෙකුත් සැකකරුවෝ සම්බන්ධයෙන් කුමන වගන්තිය යටතේ ක්‍රියා කරන්නට බලාපොරොත්තු වන්නේද යන්නයි.

ඊට පිළිතුරු ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරියට කරුණු වාර්තා කරන බව පොලීසිය සඳහන් කර ඇත.

මේ අතර වැලිගම සභාපති ඝාතනයට අදාළව වෙඩික්කරු හා යතුරුපැදිකරු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවේ පසුවන අතර ඔවුන් දින 90ක රැදවුම් නියෝග මත රඳවා තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top