උතුරු මැද පළාත් සභාවේ වාහන විකිණීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් පළ කළ චෝදනා උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස විසින් දැඩිව ප්‍රතික්ෂේප කර තිබේ.
දයාසිරි ජයසේකර මහතා පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ, උතුරු මැද පළාත් සභාව, භාවිතයෙන් ඉවත් කිරීම සදහා නිර්දේශ කරමින් BMW සහ ප්‍රාඩෝ රථ ද ඇතුළත්ව සුඛෝපභෝගී වාහන 24 ක් කුණු කොල්ලයට විකුණා ඇති බවයි.
මන්ත්‍රීවරයා කියා සිටියේ, 2014 වසරේ ලියාපදිංචි කරන ලද BMW මෝටර් රථයක් රුපියල් ලක්ෂ 50කට විකුණා ඇති බවත් එම වාහනයේ වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි තුන හමාරකට වඩා වැඩි බවත් ය.
අදාළ චෝදනාවට ප්‍රතිචාර දක්වමින් උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා පවසන්නේ, අදාළ වාහන සම්බන්ධයෙන් රජයේ තක්සේරුවක් අනුව කටයුතු කළ බවත් වාහන අලෙවි කිරීමට පෙර පුවත්පත් තුනක විවෘත ටෙන්ඩර් ක්‍රියාවලියක් කැඳවූ බවත් ය.
අදාළ BMW රථය බොහෝ කාලයක් පළාත් සභාවෙන් අතුරුදන්ව තිබී, නව රජයට බලයට පත්වීමෙන් පසුව හොර රහසේ එහි ගෙනැවිත් දමා ගොස් තිබෙන රථයක් බවත් එය භාවිතා කළ පාර්ශ්වයන් අවශ්‍ය නිසි නඩත්තුවෙන් තොරව වාහනය භාවිතා කර තිබූ බැවින් එය අබලන් තත්වයේ පැවති බවත් ආණ්ඩුකාරවරයා පෙන්වා දෙයි.
එමෙන්ම මෙම BMW රථය සදහා රජයේ තක්සේරු වටිනාකම රුපියල් ලක්ෂ ලක්ෂ 198 ක් වී තිබුණූ අතර ටෙන්ඩර් කැදවීමෙන් පසුව එය විකුණා තිබෙන්නේ රුපියල් ලක්ෂ 218 ක මිලකට බවත් ආණ්ඩුකාරවරයා පැවසීය.
තවද ව්‍යාජ තොරතුරු සමාජගත කිරීම සම්බන්ධයෙන් දයාසිරි ජයසේකරට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.