අප විසින් පළමුව පළ කරන්නට යෙදුණු ඇඹිලිපිටියේ 46 හැවිරිදි අසංක ඉඳුනිල්ගේ මරණය සම්බන්ධ සිදුවීම අද (08) පාර්ලිමේන්තුවේද කතාබහට ලක් විය.
මිතුරෙකුට ඇප තැබීම පිණිස උසාවියට ගොස් සිටියදී, දුරකතනය නාද වීම නිසා දින 14කට මෙම පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විනිසුරු තීරණය කර තිබුණේ, අධිකරණයට අපහාස කිරීම යන චෝදනාව මතයි. අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට යැවුණු අසංක පැය 48ක් තුළ මරණයට පත් වී තිබු අතර ඥාතීන් එය මිනීමැරුමක් බවට චෝදනා කරති. අධිකරණ වෛද්‍ය වාර්තාවේද මොට ආයුදයකින් පහර දීම නිසා එම මරණය සිදු වූ බව සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර කියා සිටියේ, මෙම සිදුවීම පිළිබඳව තමන්ගේ බරපතළ අවධානය යොමු වන බවයි. කෙසේ වෙතත් විනිසුරු තීරණය සම්බන්ධයෙන් කතා නොකරන බවද එය අධිකරණ සේවා කොමිසමේ කටයුත්තක් බවද ඔහු කියා සිටියේ ය. මෙම පුද්ගලයාට සිදු වූ දේ ගැන විමර්ශනයක් පැවැත්වෙන බවත් තමන් එය බලාපොරොත්තුව සිටින බවත් අමාත්‍යවරයා පැවසීය. කෙසේ වෙතත් අවසාන වාර්තාව ලැබී නැති වුවද, බන්ධනාගාරයේ වෙනත් රැඳවියන්ගේ පහරදීමක් ඔහුට සිදුව ඇති බව දැනගන්නට ඇති බවද අමාත්‍යවරයා කීය.
මේ අවස්ථාවේදී අදහස් දැක්වූ ෆයිසර් මුස්තාෆා මන්ත්‍රීවරයා කියා සිටියේ, මෙම අවස්ථාවේදී උසාවියට අපහාස කිරීමේ නීතිය අපහරණය කර ඇති බව පෙනී යන බවත්, අධිකරණ සේවා කොමිෂන් සභාව සමඟ මේ ගැන ඇමැතිවරයා සාකච්ඡා කළ යුතු බවත් ය. මෙලෙස දුරකතනය නාද වීම ඕනෑම අයෙකුට සිදුවිය හැකි දෙයක් බව මන්ත්‍රීවරයා අවධාරණය කළේ ය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇමැතිවරයා කියා සිටියේ තමන් මෙම ප්‍රශ්නය බරපතළ ලෙස ගන්නා බවත්, අධිකරණ සේවා කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද මේ සම්බන්ධයෙන් අවධාරණය යොමු කර ඇති බවත් ය.