/ Jul 01, 2026

එල්-නිනෝ තත්ත්වයට මුහුණදීමට පත්කළ විශේෂ කමිටුව පළමු වරට රැස් වෙයි!

එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ සභාපතීත්වයෙන් යුතුව පත් කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව පළමු වරට ජනාධිපති කාර්යාලයේදී ඊයේ (30) පස්වරුවේ රැස් වී තිබුණි.

ආහාර සුරක්ෂිතතාව, ජල කළමනාකරණය සහ බලශක්ති සුරක්ෂිතතාව පවත්වාගෙන යාම වෙනුවෙන් අවශ්‍ය කෙටිකාලීන, මධ්‍යකාලීන, සහ දිගුකාලීන සැලසුම් සකස් කිරීම සහ සියලුම රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයත්, ඒකාබද්ධ මෙහෙයුම් සහතික කිරීම සදහා සහ මහජනතාව දැනුවත් කරමින් ආපදා අවදානම අවම කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමත් වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව පත් කරන ලදී.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ යන මහත්වරු අමාත්‍ය මණ්ඩල අනුකමිටුව නියෝජනය කරනු ලබයි.

මෙම සාකච්ඡාවට සමගාමීව නිලධාරී කමිටුව සඳහා පත් කළ සාමාජිකයන්ට පත්වීම් ලිපි ලබා දීමද සිදු කර තිබේ.

එල්-නිනෝ සම්බන්ධව දැනට පවතින තත්ත්වය අනුව ප්‍රබල සම්භාවිතාව 63%ක් සහ දුර්වල සම්භාවිතාව 33%ක් බව මෙහිදී අනාවරණය වූ අතර එම තත්ත්වය යටතේ පානීය ජලය, වාරිමාර්ග සහ බලශක්තිය සම්බන්ධව වැඩි අවධානයක් යොමු කළ යුතුව තිබෙන බවටද අවධාරණය කළේය.

‍ගෝලීය එල්-නිනෝ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට ඇති විය හැකි නියං හෝ වැසි තත්ත්වයක් අඩුවැඩි වශයෙන් ඇති වනු ඇති බවට පුරෝකථනය කර තිබෙන බැවින් එම සියලු තත්ත්වයන්ට මුහුණදීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ නිශ්චිත වැඩපිළිවෙළක් සති දෙකක් ඇතුළත සකස් කරන ලෙස මෙහිදී අදාළ අමාත්‍යාංශවලට සහ දෙපාර්තමේන්තුවලට උපදෙස් දී තිබේ.

එල්-නිනෝ තත්ත්වය සම්බන්ධව දැනට පවතින වෙන් වෙන් අර්ථ දැක්වීම් වෙනුවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් පමණක් නිල ප්‍රකාශ නිකුත් කිරීමටද මෙහිදී තීරණය කර ඇත.

විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ ලේකම්/කැඳවුම්කරු, නිලධාරී කමිටුවේ සභාපති, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, පරිසර අමාත්‍යාංශයේ ලේකම් අංජලී කුමාරතුංග, කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්. ඩී. පී. වික්‍රමසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශ‌යේ ලේකම් කේ. ඒ. විමලේන්තිරරාජා, නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු කුමුදුලාල් බෝගහවත්ත යන මහත්ම මහත්මීන් සහ අදාළ දෙපාර්තමේන්තුවල නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top