ශ්‍රී ලංකාවේ සංචාරක ආදායම්වල කිසිදු ආකාරයක අඩුවීමක් සිදුව නොමැති අතර, සිදුව ඇත්තේ මීට පෙර භාවිත කළ දෝෂ සහිත දත්ත සමීක්ෂණ ක්‍රමය වෙනුවට ජාත්‍යන්තරව පිළිගත් විද්‍යාත්මක සමීක්ෂණ ක්‍රමවේදයන් භාවිත කිරීම නිසා සංචාරකයින්ගේ සැබෑ වියදම් රටාවන් නිවැරදිව අනාවරණය වීම පමණක් බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා අද (09) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27(2) යටතේ පා.ම. රවි කරුණානායක මහතා මතු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මීට පෙර මෙරට භාවිත කර ඇත්තේ කෘතිමව ඉහළ ආදායමක් පෙන්විය හැකි, සීමිත සාම්පල ප්‍රමාණයක් සහිත සමීක්ෂණ ක්‍රමවේදයක් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ වන විට වත්මන් රජය යටතේ ජාත්‍යන්තරව පිළිගත් සමීක්ෂණ ක්‍රමවේදයන් පිළිපැදීමට සිදු කරන අතර ඒ අනුව විදේශීය සංචාරකයෙකු ශ්‍රී ලංකාවේ සැබෑ ලෙසම වියදම් කරන ඩොලර් ප්‍රමාණය නිවැරදිව සොයාගෙන ඇති බවත් සංචාරකයින් ශ්‍රී ලංකාවේ වියදම් කිරීමේ රටාවේ කිසිදු විශාල වෙනස්කමක් හෝ බිඳ වැටීමක් සිදු වී නොමැති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
සිදුව ඇත්තේ නිවැරදි දත්ත වාර්තා වීම පමණක් බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් අතුරු ප්‍රශ්නයක් යොමු කරමින් කියා සිටියේ, සංචාරකයින් සිදුකරන ක්‍රෙඩිට් කාඩ් ගෙවීම් ශ්‍රී ලංකා මහ බැංකුවේ ‘ලංකා පේ’ (LankaPay) පද්ධතිය හරහා නොවී, වෙනත් බාහිර ගෙවුම් ද්වාර (Gateways) හරහා සෘජුවම පිටරටට ගලා යන බැවින් රටට ලැබිය යුතු විදේශ විනිමයෙන් 2.5%ක් නිල නොවන මට්ටමින් රටට අහිමි වන බවයි.
ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සඳහා මෙතෙක් කිසිදු ක්‍රමවේදයක් සකස් කර නොතිබූ බවයි.
වසර ගණනාවක් තිස්සේ එම ජාත්‍යන්තර ඩිජිටල් යෙදවුම්වලට ශ්‍රී ලංකාවේ බදු ක්‍රම හඳුන්වා දී බදු අයකරන ක්‍රමවේද සකස් කර නොතිබීම ලොකු අඩුවක් බවත්, රවී කරුණානායක මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී පවා එවැනි ක්‍රමවේදයක් සකස් නොකළ බවත් සිහිපත් කළේය.
පසුගිය පාලකයන්ට කිරීමට නොහැකි වූ එම වගකීම වත්මන් රජය ඉතා කෙටි කාලයක් තුළ ඉටු කරන බවත් අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව දැනටමත් එම බදු ක්‍රම හඳුන්වා දී ඇති අතර, අයවැය ඉදිරිපත් කර ඒ හරහා අදාළ ජාත්‍යන්තර ආයතන සහ යෙදවුම්වලින් බදු අයකරන ආකාරය හඳුන්වා දී ඇති බවද හෙතෙම අනාවරණය කළේය.
රටට පැමිණෙන සංචාරකයන්ගෙන් යම් මුදල් ප්‍රමාණයක් නැවත පිටතට ඇදී යන බව ඇත්තක් වුවද, එම සියලුම මුදල් රට තුළට ගැනීම සඳහා විධිමත් ක්‍රමවේදයක් අවශ්‍ය වන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. ඒ සඳහා අලුතින් නීති රීති මෙන්ම තාක්ෂණික ක්‍රියාමාර්ගද අත්‍යවශ්‍ය වන බව පෙන්වා දුන් විදේශ කටයුතු අමාත්‍යවරයා, එම නීතිමය සහ තාක්ෂණික පියවරයන් දෙකම කඩිනමින් ගැනීම සඳහා වත්මන් රජය මේ වන විට සෘජුවම මැදිහත් වෙමින් සිටින බව වැඩිදුරටත් කියා සිටියේය. Lanka Pay ක්‍රමවේදයට ඇතුළත් කිරීම ඒ සඳහා ගෙන ඇති එක් ප්‍රධාන පියවරක් බව ද පෙන්වා දුන්නේය.






