/ Mar 09, 2026

බලශක්ති අර්බුදය මැද බංගලාදේශයේ සරසවි වැසෙයි!

මැද පෙරදිග ගැටුම හේතුවෙන් සීග්‍රයෙන් උග්‍ර වන බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස ළඟ එන ඉද් උත්සව සමය වෙනුවෙන් එරට සියළු විශ්ව විද්‍යාල අද (9) සිට වසා දැමීමට බංග්ලාදේශ රජය පියවර ගෙන තිබේ.

එය විදුලිය සහ ඉන්දන පිරිමැසීමට ගත් හදිසි පියවරක් බව රජය පවසා තිබෙන අතර රට පුරා සියළු රාජ්‍ය සහ පුද්ගලික විද්‍යාල එම තීරණයට අනුගත කර ඇත. නව තීරණයත් සමග ඉන්දන නාස්තියට මග සාදන මාර්ගස්ථ වාහන තදබදය ද අවම වනු ඇතැයි රජය විශ්වාසය පළකරයි.

විශ්ව විද්‍යාල නේවාසික ශාලා, පන්ති කාමර, විද්‍යාගාර සහ වායු සමීකරණ කටයුතු පිණිස විදුලිය විශාල වශයෙන් වැය වන බව රජය පෙන්වා දෙන අතර එබැවින්, මැද පෙරදිග ගැටුම හේතුවෙන් වර්ධනය වන එරට බලශක්ති ගැටලුවට පිළියම් ලෙස උත්සව සමයේ නියමිත කාල වකවානුවට පෙර සියලු විශ්ව විද්‍යාල වසා දැමීමට පියවර ගෙන තිබේ.

ඉස්ලාමීය රාමදාන් සමය වෙනුවෙන් එරට පාසල්ද දැනටමත් වසා දමා තිබේ.

බංග්ලාදේශයේ බලශක්ති අවශ්‍යතාවෙන් 95%ක් ම ආනයන මත රඳා පවතින අතර ජනතාව හදිසි ඉන්දන මිලදී ගැනීම් සහ අනවශ්‍ය තොග රැස් කිරීමට පෙළඹීමත් සමග පසුගිය සිකුරාදා (06) සිට ඉන්දන සීමා පැනවීමට රජය පියවර ගත්තේය.

බංග්ලාදේශය මේ වන විටත් දරුණු ගෑස් හිඟයකට මුහුණ පා සිටින බවද දැක්වෙයි. ඒ හේතුවෙන් රාජ්‍ය අංශයට අයත් පොහොර නිෂ්පාදනාගාර පහෙන් හතරක්ම වසා දැමීමටත්, ඊට වැය වන ගෑස් සංචිත විදුලි බලාගාර වෙත යොදවා හැකිතාක් විදුලි කප්පාදු අවම කර පවත්වා ගැනීමටත් රජය විසින් පියවර ගෙන තිබේ.

රජයට එසැණ වෙළඳ පොලින් වැඩි මිලට ගෑස් මිලදී ගැනීමට ද සිදුව ඇත. සැපයුම් දාම අවහිර වීම අවම කිරීම පිණිස නව තොග ඇණවුම් කිරීමට ද පියවර ගෙන තිබේ.

බලශක්ති පරිභෝජනය අවම කර අත්‍යවශ්‍ය විදුලිය සහ වෙනත් බලශක්ති සංචිත ස්ථාවරව තබා ගැනීමට හැකි සෑම පියවරක්ම ගනිමින් ඇතැයි එරට බලශක්ති අමත්‍යංශ නිවේදනය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top