/ Jun 25, 2025

සාමකාමී ලෙස මියෙනවාද? යන්ත්‍රවලින් හුස්ම ගන්නවා ද? : හෙද මතක වත – 3

Will they die peacefully? Will they breathe with machines?

ඔබ ඉතාම වයස්ගත වෙලා මරණයට ආසන්න අවස්ථාවට ආවම මොන විදියේ මරණයක් ලැබෙනවට කැමතිද කියලා මම ඔබෙන් ඇහුවොත් ඔබේ පිලිතුර මොන විදියේ එකක් වෙයිද? එහෙමත් නැත්නම් ඔබට හදිසියේම සුවකළ නොහැකි රෝග තතත්ත්වයක් ඇතිවෙලා වෛද්‍ය විද්‍යාවෙන් කළ හැකි සියලුම දේ කළාට පසුවත් ඔබේ මරණය වැලැක්විය නොහැකි දෙයක් නම් ඔබ තෝරාගන්නේ ඔබව යන්ත්‍රවලට සම්බන්ධ කරලා තව දුරටත් ජීවත් කරවීමද නැත්නම් ඔබේ ආදරණීයයන් පිරිවරාගෙන නිදහසේ සිහියෙන් මරණයට පත්වීමද?

එක එක පුද්ගලයාට අනුව මේ පිළිතුර වෙනස් වේවි. අද මේ ලිපියෙන් මම කතාකරන්න අදහස් කරන්නේ එක්සත් රාජධානියේ විතරක් නෙවෙයි ලෝකේ තවත් දියුණු රටවල් ගණනාවක මිනිස්සුන්ට මෙවැනි අවස්ථාවල ලැබෙන  තෝරාගැනීමේ අයිතිය ගැන. ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ඩෙන්මාර්කය වගේ රටවල් මේ අතරට ඇතුළත්.  

මේ මාතෘකාව ගැන කතාකරන්න කලින් වෛද්‍ය විද්‍යාවේදි භාවිතා වෙන දේවල් සම්බන්ධයෙන් පොඩි තාක්ෂණික දැනුමක් ඔබට ලබාදීම වැදගත් කියලා හිතනවා.

විවිධ රෝග තත්ත්ව නිසාවෙන් රෝගියකුගේ හෘද හා පෙනහළු ක්‍රියාවලිය එකවරම නතර වීම සිදුවෙනවා. ඒ වගේම වයස්ගතවීම හෝ කාලීන රෝග තත්ත්වවලින් මරණයට පත් වුණත් මරණය කියන්නේ මේ හෘද හා ස්වසන ක්රියාවලිය නතරවීම විදියට සරලව හඳුන්වන්න පුළුවන්. මේ විදියට හෘද – ස්වසන ක්‍රියාවලිය නතර වුණ කෙනෙකුට පපු තෙරපුම් හා කෘතිම ස්වසනය ලබාදීම මගින් නැවත ඒ ක්‍රියාවලිය පණගන්වන්න උත්සාහ කිරීම තමා හෘද උරස් පුනර්ජීවනය කියන්නේ. Cardio Pulmonary Resuscitation(CPR) කියන නමින් ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ මේ ක්‍රියාවලිය. ඕන කෙනෙක් දන්නවා හෝ දැක තියෙනවා හෘද ස්පන්දනය නතර වුණ ලෙඩෙකුට රෝහලකදී හරි ගිලන් රථයකදී හරි නැවත හෘදය පණ ගන්වන්න සෞඛ්‍ය සේවකයන් පපු තෙරපුම් හා කෘත්‍රිම ස්වසනය ලබාදෙන ආකාරය. බොහෝ වෙලාවට චිත්‍රපට, ටෙලිනාට්‍යවල මේ ක්‍රියාවලිය පෙන්වනවා විවිධ අඩුපාඩු සහිතව.

ලංකාවේ ඕනෑම කෙනෙක් මේ තත්ත්වයට පත් වුණාම රෝහලකදී අනිවාර්යයෙන්ම සෞඛ්‍ය සේවකයන් විසින් CPR ලබාදෙනවා වගේම ලබාදිය යුතුමයි. සරලව කිව්වොත් ලංකාවේ මොන විදියේ රෝගයකින් කාලයක් තිස්සේ පීඩා වින්දත් වයස්ගතවීම නිසා මේ තත්වයට මුහුණ දුන්නත් රෝගියාට හෝ පවුලේ අයට මොන විදියකින්වත් අයිතියක් නැහැ තමන්ට හෝ තමන්ගේ රෝගියාට CPR ලබාදීම ප්‍රතික්ෂේප කරන්න. නමුත් මම ඉහතදී සඳහන් කළ රටවල රෝගියාට හා පවුලේ අයට හැකියාව තියෙනවා හෘද ස්වසන ක්‍රියාවලිය නතර වුණ විටකදී  CPR ලබා නොදෙන්න කියන තීරණයට එ‍ළඹෙන්න. මේ තීරණය හඳුන්වන්නේ Do Not Attempt Cardio Pulmonary Resuscitation (DNACPR) නමින්. මෙය වෛද්‍යවරුන්, රෝගියා, පවුලේ පිරිස එකතු වී සාකච්ඡා කර නිසි අවබෝධයක් සහිතව ගන්නා තීරණයක්. මෙලෙස තීරණය කල විටකදී එක්සත් රාජධානියේ නම් ඒ රෝගියා සතුව දම් පැහැති පෝරමයක් තියෙනවා. එය හදුන්වන්නේ Respect Form නමින්. මෙය රෝගියා සහ වි‍ශේෂඥ වෛද්‍යවරයා විසින් අත්සන් තැබිය යුතුයි.

බොහෝ පුද්ගලයන් වයස්ගත වීමත් සමඟ මේ තීරණයට එළඹෙනවා. ඒ වගේම පිළිකා රෝග වැනි කාලීන රෝග තත්ත්ව නිසා පීඩා විඳින පුද්ගලයන්ටද මේ තෝරාගැනීමේ අවස්ථාව හිමිවෙනවා. කුමන හෝ අසනීප තත්ත්වයකට රෝහල්ගතවූ අවස්ථාවක හෝ ප්‍රජා සෞඛ්‍යය සේවකයන් විසින් හෝ මේ පෝරමය සම්පූර්ණ කිරීම සිදුකළ හැකියි. ඉන් පසුව නැවත රෝහල්ගත වීමකදී එම පුද්ගලයා විසින් මෙම පෝරමය තමා සමඟ රැගෙන ආ යුතුයි. එසේම එක්සත් රාජධානියේ ජීවත්වන හැම පුද්ගලයෙක්ම ජාතික සෞඛ්‍යය සේවයේ (National Health Service -NHS) ලියාපදිංචි නිසා මේ විදියට තීරණය ක‍ළ පසු එය ඔහුගේ හෝ ඇයගේ සෞඛ්‍යය දත්තයන්වල යාවත්කාලීන වනවා. එවිට එම පුද්ගලයා රටේ කුමන රෝහලට ඇතුළත් වුණත් ඔහු හෝ ඇය මේ respect form එකක් සහිත පුද්ගලයෙක් බව සෞඛ්‍යය සේවකයන්ට සහතික කරගත හැකියි.

මේ විදියේ තෝරාගැනීමක් තිබීම පෞද්ගලිකව වගේම සමාජයීය වශයෙනුත් ඉතාම වැදගත්. තමන් මරණයට පත්වෙන්නේ වයස්ගත වීමෙන්ද නැත්නම් රෝග තත්ත්වයකින්ද එහෙමත් නැතිනම් හදිසි අනතුරක් නිසාවෙන්ද කියල කිසිම කෙනෙකුට කලින් දැනගන්න ලැබෙන්නේ නැහැ. නමුත් ඒ අවස්ථාවට සමීප වීමත් එක්ක මේ විදියේ තෝරාගැනීමක් ලැබෙන එක ඒ පුද්ගලයාට ලැබෙන විශාල ගෞරවයක් විදියටයි සැලකෙන්නේ. තමන්ගේ ජීවිතය ගැන හොඳම තීරණය ගතහැකි තමන්ටමයි. එයට ගෞරව කිරීම තමා මෙහි අරමුණ වෙන්නේ. සමාජයීය සහ ආර්ථික වශයෙන් මේ තීරණය රටක සෞඛ්‍යය සේවයට ඉතාම වැදගත්. බොහොමයක් අවස්ථාවල රෝගියාගේ ජීවිතය බේරාගැනීමේ හැකියාව නැති බව හොඳින්ම වැටහෙද්දී පවා ලංකාවේ සෞඛ්‍යය සේවකයන්ට මේ විදියට CPR ලබාදීම කරන්න සිදුවෙනවා. රෝහලකදී මේ ආකාරයට CPR ලබාදීමේදී භාවිතා වෙන ඖෂධ, උපකරණ, මිනිස් ශ්‍රමය ආදිය ඉතා විශාලයි. මේ විදියට රෝගියාගේ හෘදය යළි පණ ගැන්වුවත් පෙර තත්වයට රෝගියා සුව නොවී ටික කාලයක් යන්ත්‍ර ආධාරයෙන් ජීවත් වෙලා මියයන්න තියෙන අවස්ථාව වැඩි. එවිට නැතිවී යන්නේ තව කාලයක් ජීවත්විය හැකි පුද්ගලයෙකුට තිබෙන වටිනා අවස්ථාවක්. මේ නිසා වයස්ගතවීම හෝ කාලීන රෝග තත්ත්වයක් හේතුවෙන් පීඩා විඳින රෝගියෙක් මේ තෝරාගැනීම සිදුකිරීම රටේ නිදහස් සෞඛ්‍යය සේවයට තමන් විසින් යම් පරිත්‍යාගයක් කළා හා සමාන වෙනවා.

මේ ගැන කතාකිරීම සමහරවිට මතභේදාත්මක විය හැකියි. විශේෂයෙන්ම විවිධ ආගමික ඇදහිලි අනුව, එක් එක් පුද්ගලයාට අනුව මේ විදියේ තීරණයක් ගැනීම අපහසු වෙනනත් පුළුවන්. මම මේ ලිපියෙන් මේ සම්බන්ධයෙන් ලියන්න අදහස් කළේ ලෝකයේ දියුණු රටවල පවතින නිදහස් හා තෝරාගැනීමේ අයිතිය පිලිබඳව ඔබට අදහසක් ලබාදෙන්නයි.

තවත් මේ වගේ ලිපියකින් නැවත හමුවෙමු.

මම,

සජීවනී කරුණාරත්න

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top