ත්‍රිකුණාමලය සිදුවීම භාවිතා කර ඇතැමුන්ට සිය සිහින දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට රජය ඉඩ නොදෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.
”මේ සිදුවීම්වලින් පටන් අරන් දැවැන්ත ලේ වැගිරීම් දක්වා අපි ඕන තරම් සිදුවීම්වලට රටක් විදියට මුහුණදීලා තියෙනවා. ඒ නිසයි බුදුපිළිම වහන්සේ ඉවත් කිරීමට පොලීසිය කටයුතු කළේ. නැවත බුදුපිළිමය එතැන තැන්පත් කරලා තියෙනවා. නොවැම්බර් 26 අධිකරණය කටයුතු කරන ආකාරය ගැන රජය බලාගෙන ඉන්නවා.” යනුවෙන් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
එහිදී වැඩිදුරටත් අදහස් පළකළ අමාත්‍යවරයා,
“පොලීසිය ඉන්නේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න. කිසිසේත්ම කවර හෝ සිදුවීමක් පදනම් කරගෙන රටේ නීතිය කඩවෙන ආකාරයට හෝ සාමය කඩවෙන ආකාරයේ කටයුතුවලට පොලීසිය ඉඩදෙන්නේ නෑ. තාවකාලිකව ආපන ශාලාවක් ඉදිකිරීමට කෙටි කාලීන අවසරයක් ලබාදීලා තිබුණා යම් යම් නිර්ණායකයන් සහිතව. එය කඩා ඉවත් කිරීමේ නියෝගයක් පවතිනවා. ඒ අතරතුරේ තමා බුදුපිළිම වහන්සේ මෙතැනට වැඩම කරවලා තියෙන්නේ. අපේ රටේ ඉතිහාසයකුත් තියෙනවා බුදුම පිළිම වහන්සේ නමකට හානි කළ පසු ඒ තුළින් ඇති වන ජාතිවාදී කෝලාහලය කොතරම් දුරදිග යන්න පුළුවන් ද කියන එක. ඒ නිසා ඒ ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට හා බුදුපිළිම වහන්සේගේ ආරක්ෂාව සැපයීම පොලීසියෙන් කළා. ඊළඟ නඩු දිනය පැවැත්වෙනවා නොවැම්බර් මස 26 වන දින ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයේ දී. පොලීසිය විසින් වාර්තා කරන ලද කරුණු අනුව මහෙස්ත්‍රාත්වරයා විසින් සියලු සාක්ෂි සටහන් කර ගැනීමටත් ඕනෑම පාර්ශ්වයක ඉදිරිපත් කර ඇති ලිපිලේඛනවල අනන්‍යතාවය තහවුරු කරගැනීමටත් 2025.11.26 දින දක්වා කිසිදු ආකාරයක නව ඉදිකිරීමක් නොකරන ලෙසටත් අධිකරණය විසින් කරුණු ඉදිරපත් කර තිබෙනවා. ප්‍රදේශයේ සාමය ආරක්ෂා කරගැනීමට පොලීසිය හා විශේෂ කාර්ය බළකාය යොදවලා තියෙනවා. මෙහිදී හාමුදුරුවන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.”





