2026 පෙබරවාරි මාසයේදී වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව ශ්‍රී ලංකාවේ මුළු අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 1,401.78ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
එය 2025 පෙබරවාරි මාසයට සාපේක්ෂව 4.22% ක වාර්ෂික වර්ධනයක් පිළිබිඹු කරන්නක් බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්තවලට අනුව, මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඇස්තමේන්තුගත සංඛ්යාවලේඛන සමඟ, 2026 පෙබරවාරි මාසයේවෙළඳ භාණ්ඩ අපනයනය 1.32% කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් මිලියන 1,066.88 ක් ලෙස වාර්තා වී තිබේ.
සේවා අපනයනය සමස්ත අපනයන වර්ධනයට ප්‍රධාන ශක්තියක් වි ඇත. සේවා අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 334.9 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එය 2025 වසරේ පෙබරවාරි මාසයට වඩා 14.68% ක වැඩිවීමක් බවයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසන්නේ.
මේ අතර 2026 ජනවාරි සිට පෙබරවාරි දක්වා කාලය තුල මුළු අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 2,896.31 ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.
එය 2025 වසරේ එම කාලයට සාපේක්ෂව 7.56% ක කැපී පෙනෙන වර්ධනයකි.
අපනයන ආදායමේ වර්ධනය,භාණ්ඩ අපනයනය ස්ථාවර වීම, සේවා අපනයනය වර්ධනය වීම මගින් මෙරට විදේශ විනිමය ශක්තිමත් වී ඇති බවද අපනයන සංවර්ධන මණ්ඩලය වැඩිදුරටත් පවසයි.






