/ Apr 30, 2025

පම්බන් පාලම – ඉන්දියාව ශ්‍රී ලංකාව දුම්රියෙන් යා කරන්න ද?

Will India connect Sri Lanka by train?

ඉන්දියා ටුඩේ වෙබ් අඩවියේ පළව ඇති විස්තරාත්මක සටහනක් මගින් මෙරට සහ ඉන්දියාව අතර අතීතයේ සිදුවූ ගමනාගමනය ගැන අදහස් පළ කරමින් පසුගිය දා මෝදි අතින් විවෘත වූ පම්බන් පාලම ඉදිරි ඉන්දීය-ශ්‍රී ලංකා දුම්රිය ගමන් මගක තීරණාත්මක ලක්ෂ්‍යක් ලෙස කරුණු දක්වා තිබේ. 

පසුගිය දා මෙරටට පැමිණි ඉන්දීය අගමැති මෝදි විසින් විවෘත කළ පම්බන් පාලම සම්බන්ධයෙන් එහි සවිස්තරාත්මකව දක්වා ඇත. 1964 සුළි කුණාටුවකින් විනාශ වූ එම පාලම පම්බන් දූපතේ සිට ඉන්දීය භූමියට තිබූ එකම සම්බන්ධතාවය බවද එහි සඳහන් වෙයි. මෙම පාලම විවෘත කිරීම මගින් නැවත සිහිනයක් පණ ගැන්වූ බවයි එහි තවදුරටත් දැක්වෙන්නේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඍජු දුම්රිය සේවාවකට අඩිතාලමක් ඉන් ලැබෙන බවද ලිපියේ සඳහන් වේ. ඉන්දියාවේ රාමේෂ්වරම් සිට මෙරට මන්නාරම දක්වා මාර්ගයක් සම්බන්ධයෙනුයි එහි අදහස් පළව ඇත්තේ. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව දුම්රිය මගින් ඒකාබද්ධ කිරීමේ සැලැස්මක් බ්‍රිතාන්‍යයන් සතුව තිබූ බවත් දෙරටේම දුම්රිය මාර්ග ඒ වෙනුවෙන් සකසමින් පැමිණ අවසානයේදී ඉතිරිව තිබුණේ රාමේෂ්වරම් සහ තලෙයිමන්නාරම අතර සම්බන්ධය බවත් ලිපියේ පෙන්වා දෙයි.

පම්බන් පාලම විනාශ වීම මේ සැලැස්ම අවුල් කර දැමීමට හේතු වූ බව පවසන ලියුම්කරු මේ පාලම ප්‍රතිස්ථාපනය තුළින් පැරණි සිහිනයට පණ ලැබෙන බවද කියා සිටී.

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දුම්රිය මගින් යා කිරීමට අවශ්‍ය වන්නේ කිලෝමීටර් 25ක් බව පෙන්වා දෙන එම ලිපිය, පසුගිය කාලයේ එම ව්‍යාපෘතිය ඇණ හිටියේ තමිල්නාඩු දේශපාලනයේ ජයලලිතා සාධකය බවත් දැන් දේශපාලන සිතියම මඳක් වෙනස්ව ඇති බවත් කියා සිටී.

විශ්ලේෂණය කර බැලීමේදී ඉන්දියාවට දුම්රිය සම්බන්ධතාවක් නැති එකම අසල්වැසියා ශ්‍රී ලංකාව බවත් පාකිස්ථානයථ බංග්ලාදේශය සහ නේපාලය යන රටවල් සියල්ලම දුම්රියෙන් ඉන්දියාවට බැඳී ඇති බව ලිපිය පෙන්වා දෙයි.

ඉන්දියාව  සිය අසල්වැසියන් සමග ඇති සියලු පරතරයන් පියවා ගැනීමට උත්සාහ කරන බැවින් මෙම දුම්රිය සම්බන්ධතාව සිතිවිල්ලක් පමණක් ලෙස හැඳින්විය නොහැකි බවත් පම්බන් පාලම විවෘත කිරීම මෙම දුම්රිය සම්බන්ධතාවයේ තීරණාත්මක කොටසක් බවත් ඉන්දියා ටුඩේ අවධාරණය කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top