රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට කටයුතු කරන බව ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් (Martin Raiser) පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක හා ලෝක බැංකු නියෝජිතයන් අතර ජනාධිපති කාර්යාලයේ අද (21) පැවති හමුවේදී ඔහු මේ බව අවධාරණය කළේය.
තරුණ තරුණියන්ට රැකියා උත්පාදනය කිරීමේ වැඩසටහන, ක්ලීන් ශ්‍රී ලංකා, ග්‍රාමීය දිළිඳුබව තුරන් කිරීම, හා ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවේ මූල්‍ය සහ තාක්ෂණික ආධාර ලබාදීමට මෙහිදී එකඟතාව පළකර ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව අධ්‍යාපන, බලශක්ති, ඩිජිටල්කරණ හා උතුරු සංවර්ධනය සඳහා වූ නව ව්‍යාපෘති සඳහා ආධාර ලබාදීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ.
ලෝක බැංකුව මඟින් ශ්‍රී ලංකාවට ලබාදීමට අනුමත ණය ආධාර නියමිත දිනට ලබාදීමට කටයුතු කරන බවද මාර්ටින් රේසර් මෙම හමුවේදී දැනුම් දුන්නේය.
මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ අධ්‍යාපන ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමෙන් ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට හැකි බවයි.
ඒ වෙනුවෙන් නව රජය ආරම්භ කර තිබෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහාද, පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයෙහි සංවර්ධනය සඳහාද අවශ්‍ය ආධාර ලබාදෙන ලෙස ජනාධිපතිවරයා මෙහිදී ලෝක බැංකු නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.
විශේෂයෙන්ම උතුරු සංවර්ධනය සඳහා රජය වැඩි අවධානයක් යොමු කර ඇති බවත් උතුරේ ආයෝජන කලාප තුනක් ඇති කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී ලෝක බැංකු නියෝජිතයන්ට පෙන්වා දුන්නේය.
උතුරේ සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීම, ජල පහසුකම් ලබාදීම, උතුරේ ජනතාවගේ සමාජ ප්‍රශ්නවලට ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතා රැක ගනිමින් විසඳුම් සෙවීමටද කටයුතු කරන බවට ද ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.