පසුගිය 26 වැනිදා ගාල්ල ජාතික රෝහල වෙත රිය අනතුරක් හේතුවෙන් ඇතුළත් කරන ලද තරුණයෙකු සිය අපහසුතා කියමින් කොතෙකුත් ප්‍රතිකාර ඉල්ලා සිටියත් රෝහල් කාර්ය මණ්ඩලය එය කණකට නොගෙන නොසලකා හැරීම නිසා ඔහු මිය ගිය බවට ආන්දෝලනයක් ඇති වී තිබේ.
ගාල්ල ගිංතොට පදිංචි චතුරංග සඳරුවන් නම් 31 වියැති මෙම තරුණයා 25 වැනිදා සවස උණවටුනේදී රිය අනතුරකට ලක්ව ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. එහෙත් තරුණයාට පසුදා අලුයම වන තුරු කිසිදු ප්‍රතිකාරයක් ලැබී නොමැති බව ඥාතීන් පවසයි.
මෙම රෝගියාගේ මරණයෙන් පසු රෝහලේ නොසන්සුන්තාවක්ද ඇති වූ අතර පොලිසිය පවා කැඳවීමට සිදුව තිබිණ.
අනතුරට පත් තරුණයාට උවටැන් කිරීම වෙනුවෙන් සිටි ඔහුගේ සොහොයුරා හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් කියා සිටියේ, රාත්‍රිය පුරාම මිය ගිය තරුණයාට මුත්‍රා සමඟ රුධිරය පිට වූ බවයි. ඔහු දැඩි වේදනාවෙන් බව කොතෙකුත් පැවසුවත් වෛද්‍යවරුන් සහ හෙදියන් පවසා ඇත්තේ තරුණයාට අමාරුවක් නැති බවයි. කෙසේ වෙතත් පසුව මිය ගිය අය ලේ වමනය කර තිබේ.
වේදනාවෙන් පීඩිතව සිටියද කිසිදු ප්‍රතිකාරයක් නොලද මෙම තරුණයා පසුව සිහිවිකලෙන් මෙන් ගිලන් රථයක් වෙත ගොස් තමාට අමාරු බවත් පෞද්ගලික රෝහලකට හෝ ගෙනගොස් දමන ලෙසත් ඉල්ලා ඇති අතර නැවත රෝහල් සේවකයන් පැමිණ ඔහු වාට්ටුව වෙත ඇතුළු කර තිබේ.
මෙම සියලු කරුණු සලකා බැලීමේදී ගාල්ල ජාතික රෝහලේ අදාළ අංශ වෙතින් අඩුපාඩුවක් සිදුව ඇති බව පෙනී යයි.
මිය ගිය තරුණයා විවාහකයෙකු වන අතර ඔහුගේ පළමු දරුවා ඉපිද දින 18ක් බව කියැවේ.
රජය මැදිහත් වී මේ සිදුවීම සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කළ යුතු බව අපගේ අදහසයි.