ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් නව ආයෝජන අවස්ථාවක් ලෙස ප්‍රථම වතාවට විදෙස් ආයෝජකයන් 07 දෙනකු සඳහා නීත්‍යනුකූලව කංසා (ගංජා) වගා කිරීමට රජය මගින් අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වෙයි.
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) අධීක්ෂණය යටතේ සිදුකරන අතර එහි අරමුණ කංසා ඇසුරෙන් ඖෂධ නිෂ්පාදනය හා පර්යේෂණ කටයුතු සඳහා පමණක් යොදාගන්නා නිෂ්පාදන අපනයනය කිරීමෙන් සැලකියයුතු විදේශ විනිමයක් උපයා ගැනීමයි.
ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා එක් ආයෝජකයකු විසින් අවම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 05ක ආයෝජනයක් සිදුකළ යුතු අතර එක් ආයෝජකයකුට ඇමරිකානු ඩොලර් මිලියන 02ක බැඳුම්කරයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් කිරීමට ද අනිවාර්ය කර ඇත.
මීරිගම සහ හම්බන්තොට ප්‍රදේශවල මෙම වගාව සඳහා භූමි වෙන්කර ඇත. මීරිගම ප්‍රදේශයේ අක්කර 64ක් පමණ වෙන්කර තිබේ. මෙම වගාවන් සිදුකළ යුත්තේ ශ්‍රී ලංකාවේ පවතින නීති රෙගුලාසිවලට අනුකූලව දැඩි ආරක්ෂක විධිවිධාන යටතේය. ඒ අනුව වගාබිම් වටා ශක්තිමත් ආරක්ෂිත වැටක් ඉදිකිරීමට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ පොලිසියේ ආරක්ෂාව ලබාගැනීම ද අනිවාර්ය ය.
මෙම ව්‍යාපෘතිය මගින් වගා කරන කංසා ශ්‍රී ලංකාව තුළ භාවිතයට නොගෙන සම්පූර්ණයෙන් අපනයනය කළයුතු අතර කංසා ගසේ සිට කිසිදු කොටසක් (ඇට, කොළ, මුල්) බාහිර පරිසරයට මුදා නොහැර විනාශ කිරීමට නීති රෙගුලාසි පනවා ඇති බව වාර්තා වෙයි.




