/ Sep 16, 2025

තොරණක් වගේ ආව බසය හීයක් වගේ නොපෙනී ගියා – ඇල්ල අනතුරේ ජීප් රියදුරු කතා කරයි!

පසුගිය දා ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දී සිදු වූ අතිබිහිසුණු රිය අනතුර සිදුවෙද්දී ගැටුණු ජීප් රථය ගැන බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් විය. මෙම බස් රථයේ යාන්තමින් ගැටුණු ජීප් රථයේ සිටි සොහොයුරන් තිදෙනෙකු දිවි බේරා ගැනීමට සමත් විය.

මෙසේ අනූනවයෙන් දිවි බේරා ගැනීමට සමත් වී ඇත්තේ බුත්තල නගරයේ ව්‍යාපාරික කටයුතු කරන බණ්ඩාරවෙල පූනාගල පාරේ පදිංචි එච්. එම්. චමිදු දේශාන් (22) සහ ඔහුගේ අවුරුදු 17, 19 යන වයසේ පසුවන සහෝදරයන් දෙදෙනාය.

සිය අත්දැකීම් විස්තර කළ වමිදු දේශාන් (22) කියා සිටියේ,

“නිතරම මේ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ අපි ගමන් කරන නිසා මට පාර හොඳට හුරුපුරුදුයි. කඳුබෑවුම් අනතුරුදායක වංගු සහිත ස්ථාන තිබෙන තැන් මම හොඳට දන්නවා.

එදින (4) අපි ව්‍යාපාරික කටයුතු අවසන් කර මල්ලිලා දෙන්නා සමග බුත්තල සිට බණ්ඩාර වෙල නිවසට යාමට රාත්‍රී පිටත් වුණා. මම ජිප් රථය පදවාගෙන ගියේ. ඉදිරි පස අසුනේ මගේ බාල මල්ලි හිටියා. මගේ පිටුපස අසුනේ වීදුරුව අයිනට වෙන්න දෙවන මල්ලි (19) හිටියා.

අපි රාවණා දිය ඇල්ල පසුකර ඇල්ල දෙසට කන්දේ ගමන් කරමින් සිටියදී 15 කණුව ප්‍රදේශයේ මාරක වංගුව ආසන්නයේ දී ඇල්ල පැත්ත සිට වැල්ලවාය දෙසට තොරණක් වගේ පාට, පාට විදුලි බුබුළු දල්වා ගෙන වේගයෙන් බස රථයක් එනවා දැක්කා. බස් රථය වේගයෙන් මගේ මුහුණට ආවේ. මම ඒ සමගම ජීප් රථය පාරේ වම්පස අයිනට පුළුවන් තරම් කැපුවා. එවිටම වේගයෙන් ආපු බස රථය මගේ ජිප් රථයේ දකුණු පස ගැටී ඊයක වේගයෙන් ගියා. එවිටම ජිප් රථය නැවතුණා.

බස් රථය කොහේටද ගියේ කියා මට හිතාගන්න බැරි වුණා. බ් රථය පිටුපසින් පැමිණි කාර් එකක් මගේ ළඟ නවතා මල්ලී බස් එක වද්දගෙන නවත්වන්නේ නැතිව ගියා නේද, කියා ඇසුවා. ඉන්න මල්ලි මම බස් එක මගදී අල්ලා ගන්නම් කියා ඔහු මට දුරකතන අංකයත් දීලා, මෝටර් රථය වැල්ලවාය දෙසට පදවාගෙන ගියා. හරියටම මේ අනතුර වෙනකොට රාත්‍රි 9යි. පසුව මම මල්ලිලා දෙන්නා සමග ජිප් රථයෙන් බැහැලා ජිප් රථය බැලුවා. ජීප් රථයේ දකුණු පස පැත්තට අලාභහානි වී තිබුණා. පිටුපස දකුණු පැත්තේ ජනේලය අයිනේ හිටිය මල්ලිගේ සහ අනෙක් මල්ලිගෙන් ජීවිත කිසිදු අනතුරක් නොවී අනූනවයෙන් බේරුණා. මම තාත්තාට කතා කරලා විස්තරය කිව්වා.

පසුව අපිට පහළ වංගුව දෙසින් කිසිවකු අපිව බේරාගන්න කියා විලාප දෙමින් කෑ ගසන ශබ්දයක් ඇසුණා. කළුවර නිසා මොනවාත් පෙනුණෙ නෑ. මේ වෙලාවේ බස් රථයක අංක තහඩුවක් සහ බස් රථවල සවිකර තිබෙන සුදු යකඩ කණුවක් බිම වැටී තිබිලා හම්බවුණා.

ඒ සමගම වැල්ලවාය පැත්තේ ඉඳලා ඇල්ල දෙසට යුධ හමුදා ට්‍රක් රථයක් එනවා දැකලා අපි නවත්තලා විස්තරය කිව්වා. පසුව ඔවුන් හමුදා ට්‍රක් රථය නවතා එහි තිබූ විශාල කඹයක් අරන් ඇවිත් ඔවුන් ළඟ තිබූ විදුලි පන්දම් දල්වා ගෙන කඹයෙන් පහළට බැහැලා, ප්‍රපාතයේ සිරවී රැඳි සිටිය කුඩා දරුවන් දෙදෙනෙකු. කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයකු ප්‍රපාතයෙන් උඩට ගත්තා. අපි තිදෙනා ඔවුන්ට සහය වුණා. ඒ වෙලාවේ තමයි දැනගත්තේ අපේ ජිප් එකේ හැපුණු බස් රථය රාවණා ඇල්ල ප්‍රපාතයට පෙරළී ගොස් ඇති බව.

මේ අතරතුරේ බස් රථය සොයාගෙන වැල්ලවාය දෙසට ගිය මෝටර් රථයයේ සිටි අය මට කතා කරලා කිව්වා මල්ලි බස් එක නෑ. මිනිහා මාර වේගයෙන් ගිහින් කියා. පසුව මම කිව්වා බසය පෙරළී ඇති බව.

අලුයම පොලිස් නිලධාරීන් මගේ විස්තර ඇසුවා. පසුව උදේ 6 ට පමණ ඇල්ල පොලිසියට ගියා. පසුව මගෙන් ප්‍රකාශ අරගෙන මාව බණ්ඩාර වෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප මත මාව නිදහස් කළා. ජිප් රථයට අලාභහානි වී තිබෙනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top