“ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුව තිබෙන අතර හිටපු ජනපතිවරුන් දෙදෙනෙකුට සහ ජනපතිවරියකට මේ අනුව නිල නිවෙස් අහිමි වී තිබේ.
හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන අය මේ වන විට භාවිතා කරන නිල නිවාස මේ අනුව භාර දීමට නියමිත ය.
මෙම පනත බලාත්මක වීම ආරම්භක දින සිට හිටපු ජනාධිපතිවරයෙකුට හෝ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දුවට සපයන ලද නිවසක් හෝ ගෙවන ලද යම් මාසික දීමනාවත්, මාසික ලේකම් දීමනාව සහ නිල ප්‍රවාහන සහ වෙනත් සියලු පහසුකම් මෙන්ම වැන්දඹුවට ගෙවන ලද මාසික විශ්‍රාම වැටුප ද අහිමි වීමට නියමිත ය.
කෙසේ වෙතත් ආන්දෝලනයට ලක් වූ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඉවත් ව තංගල්ල පිහිටි කාල්ටන් නිවස වෙත යෑමට සූදානම් වන බව ආරංචිමාර්ග පවසයි.