නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි සංහිඳ හෝටලයේ පිහිනුම් තටාකය තුළ වයස අවුරුදු 5ක දරුවෙකු මියයෑම සම්බන්ධයෙන් එම දරුවා ඉගෙනුම ලැබූ පෙර පාසලේ සහකාර විදුහල්පති ඇතුළු 7ක් මිරිහාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 8වනදා පෙරවරුවේ මිරිහාන, ස්ටැන්ලි මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක දී මෙම ඛේදවාචකය සිදුව ඇති අතර, එදින මියගිය දරුවා ඇතුළු දරුවන් කණ්ඩායමක් ගුරුවරුන් හා පුහුණුකරුවෙකු යටතේ ඉහත හෝටලයේ පිහිනුම් පුහුණුවීම් කටයුතු සිදුකරමින් සිටියදී මෙම දරුවා දියේ ගිලී ඇත.
මෙම සිදුවීම සිදුවන විට දරුවාගේ වැඩිමල් සොයුරියන් දෙදෙනාද එහි සිට ඇති අතර පුහුණුකරු එම ස්ථානයෙන් විනාඩි 5කට කියා පිටව ගොස් තිබේ. සිඟිත්තා ගිලෙනු දැක අත්තේ හෝටලයේ වහලය අලුත්වැඩියා කරමින් සිටි කාර්මිකයන් පිරිසකි. එහිදී ඔවුන් කෑ ගසා ඇති අතර කිසිවෙකුගේ අවධානය යොමුව නැත. දරුවාගේ වැඩිමල් සොයුරියක පැමිණ පිහිනාගොස් දරුවා ගොඩ ගෙන ඇති අතර එහිදී ගුරුවරියක විසින් දෙමාපියන් අමතා පවසා ඇත්තේ දරුවාට වතුර පෙවී ඇති බවත් අමාරුවක් නැති බවත් ය.
පශ්චාත් මරණ පරීක්ෂණයේදී මියගිය දරුවාගේ පියා චෝදනා කළේ, තම පුත්‍රයාගේ මරණයේ සම්පූර්ණ වගකීම පාසල් සහ පිහිනුම් බලධාරීන් විසින් භාරගත යුතු බවයි. පිහිනීම සම්බන්ධයෙන් කිසිදු පූර්ව දැනුමක් තම දරුවාට නොතිබූ බැවින්, ඔහුව නොගැඹුරු කුඩා තටාකයට යොමු කිරීම සිදු කළ යුතුව තිබුණ ද, ඔහුව පළමුවෙන්ම ගැඹුරු තටාකය වෙත යොමු කර ඇති බවටද පියා එහිදී චෝදනා කරනු ලැබීය.
ඒ අනුව මෙම සිදුවීමට අදාළව පෙර පාසලේ සහකාර විදුහල්පති, ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරී, ළමුන් භාරව සිටි ගුරුවරුන් දෙදෙනෙකු, පෙර පාසල් සේවිකාවක් හා පිහිනුම් උපදේශකයින් දෙදෙනෙකු ඇතුළු 7 දෙනෙකු මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.