හෝමාගම පොලිස් ස්ථානයේ රඳවා සිටියදී කිරිවත්තුඩුවේ පදිංචි 29 හැවිරිදි දෙදරු පියෙකු වන ඉෂාර හර්ෂ කුමාරගේ මරණය සම්බන්ධයෙන් ශ්රී ලංකා නීතිඥ සංගමය සිය දැඩි කනස්සල්ල පළ කර සිටින අතර වහාම ක්රියාත්මක වන පරිදි අපක්ෂපාතී හා පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.
අත්අඩංගුවේ පසුවන සෑම තැනැත්තෙකුගේම ජීවිතය, සෞඛ්යය සහ ශාරීරික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම රාජ්යයේ මූලික වගකීමක් වන අතර, ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 13(4) වගන්තිය මඟින්ද නිසි අධිකරණ නියෝගයකින් තොරව කිසිදු අයෙකුගේ ජීවිතය අහිමි කිරීම තහනම් කර ඇති බව ශ්රී ලංකා නීතිඥ සංගම සිය ලිපියෙන් පෙන්වා දෙයි.
මේ වන විට හෝමාගම මහේස්ත්රාත් අධිකරණය විසින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර ඇති අතර, හෝමාගම සහකාර පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත මූලික විමර්ශනයක්ද ආරම්භ කර තිබේ.
කෙසේවෙතත් මහජන විශ්වාසය තහවුරු කිරීම සඳහා මෙම සිදුවීමට අදාළ සියලු කරුණු සාධාරණ සැකයකට ඉඩ නොතබා විමර්ශනය කරන ලෙසත්, වහාම ක්රියාත්මක වන පරිදි අපක්ෂපාතී හා පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙසත් නීතිඥ සංගමය අවධාරණය කරයි.





