කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ නවගමුව මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයේ ඊයේ (28) දින සිදු කළ හදිසි ආහාර වැටලීමකදී නරක් වූ මාළු තොගයක් ශීතකරණයක බහා තිබී හමුවීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ.
නරක වූ මාළු ගබඩා කර තැබීම පිළිබඳ එහි හිමිකරුගෙන් විමසීමේදී ඒවා නරක් වී ඇති බැවින් ඒවා ආපසු යැවීමට ඇති ඒවා බවත් පසුව නරක් වී නොමැති බව පැවසීමත් සමඟ යම් විවාදාත්මක තත්ත්වයක් හටගෙන ඇත.
අලෙවිසලේ හිමිකරු අස ඇත්තේ නරක් වූ මාළු මිනිස්සු කන්නේම නැද්දැයි යනුවෙනි.
ඒ අනුව ශීතකරණයේ බහා තිබූ ආහාරයට නුසුදුසු මාළු කිලෝ 20ක් ඉවත් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කර තිබේ.
තවද එම වෙළඳ සැලේ ශීතකරණවල දොරවල් අධික ලෙස මළ බැඳී තිබීමත් අයිස් කැබලි ගැනීම සඳහා මළකඩ සහිත යකඩ සවලක් භාවිතා කිරීම පිළිබඳව මෙහිදී වෙළඳසැල් හිමිකරුට තරයේ අවවාද කර ඇත.
ඊට අමතරව එම කොට්ඨාසයේ හෝටල්, ආපනශාලා, බේකරි, සිල්ලර වෙළඳසැල්, සුපිරි වෙළඳ වෙළඳසැල් 13ක් පරීක්ෂා කර ඇති අතර එහිදී මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර තිබූ ස්ථාන 9 නඩු පවරා ස්ථාන 03 කට නිවේදන නිකුත් කර තිබේ.
මේ අතර සුපිරි වෙලද සැලක රතු සීනි මළකඩ සහිත පෙට්ටියක බහා තිබීමත් ශීතකරණයක නිසි උෂ්ණත්වය නොමැතිවීමෙන් අයිස් ක්‍රීම් අයිස් කප් හා අයිස් කෝන් ගබඩා කර තිබීමෙන් ඒවා දියවී මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු තත්ත්වයෙන් පැවතීම නිසා අයිස් ක්‍රීම් බදුන් 122 සමග ශීතකරණයට මුද්‍රා තබා අධිකරණයේ නඩු පැවරීමටද කටයුතු කර ඇති බව සඳහන්.
එසේම හෝටල්වල මුළුතැන් ගෙවල් අපිරිසිදුව පවත්වාගෙන යාම, පිසූ ආහාර බදුන් අසල කසළ බදුන් තැබීමෙන් මැස්සන් කෘමීන් පිසූ ආහාරවල ගැවසීම , සීනි, සහල් වැනි ආහාර වර්ග පොළොව මත තැබීමෙන් ඒවට තෙතමනය උරා තිබීම හා කුකුළු අසූචි සමග බිත්තර පිසීමට ගැනීම වැනි වැරදි මෙම පරීක්ෂාවේදී මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට අනාවරණය වී තිබේ.





