/ Nov 13, 2025

රත්වත්තේට ඇප ලැබෙද්දී ධීවර සමාගමේ හිටපු සභාපති ඇතුළු හතරක් අත්අඩංගුවට!

දූෂණ චෝදනාවකට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙක් ලෙස කටයුතු කළ චරිත රත්වත්තේ ඇපමත මුදා හරින ලෙසට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය ලබා දුන අතර ඒ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීරය ඇප දෙකක් මතය. මේ අතර ඔහුගේ විදෙස් ගමන් ද තහනම් කර තිබේ.

පැමිණිල්ල යළි ජනවාරි මස 23 වෙනිදා කැඳවීමටයි අධිකරණය නියෝග කර ඇත.

2015 වසරේ දී එවකට සිටි අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වෙත මිලදී ගැනීම සඳහා කිසිදු අවශ්‍යතාවයක් නොතිබූ කොකුන් ගබඩා 50ක් නියමිත ක්‍රියා පටිපාටිය අනුගමනය නොකර මිලදී ගැනීමට තුළින් රජයට කෝටි 9කට අධික මුල්‍ය පාඩුවක් සිදුකිරීමේ චෝදනාව චරිත රත්වත්තේට එල්ල වී තිබේ.

මේ අතර ලංකා ධීවර සමාගමේ හිටපු සභාපතිවරයෙකු ඇතුළු සිව් දෙනෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පසුගිය 2020 වසරේදී ලංකා ධීවර සංස්ථාව වෙත පැයකට මාළු කිලෝ 2000ක් වැකුම් කර ඇසුරුම් කළ හැකි තරම් ඉහළ ධාරිතාවයකින් යුතු මාළු වැකුම් ඇසුරුම් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා අවශ්‍ය නොමැති අවස්ථාවක ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව එවැනි ධාරිතාවයකින් යුත් වැකුම් ඇසුරුම් යන්ත්‍රයක් මිලදී ගැනීම සම්බන්ධයෙනි.

එම මිලදී ගැනීමෙන් රජයට රුපියල් 5,856,116.00ක පාඩුවක් සිදුකර දූෂණයක් සිදු කිරීමේ චෝදනාව මත ඔවුන් අත්අඩංගුවට පත්ව තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර රුපියල් ලක්ෂ 15 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කර ඇත.

සැකකරුවන්ගේ විදෙස් ගමන බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙසද නියෝගයක් නිකුත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top