සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස සැලකු ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාශය අද (07) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
ඒ අනුව එම ඝාතන සිද්ධිය පසුපස ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් 09 දෙනෙකු සම්බන්ධ වී ඇති බවත් ඉන් 04 දෙනෙකු විදේශවලට පලාගොස් සැඟවී සිටින බවට තොරතුරු ලැබී තිබෙන බවයි කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේ.
මෙම ඝාතනයට සංවිධානාත්මක අපරාධකරුවන් 06 දෙනෙකු සෘජුවම සම්බන්ධ වී ඇති බවත් විමර්ශනවලින් ආනාවරණය වී තිබේ.
මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින සැකකරුවන් පස් දෙනෙකු ද සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
ඊට අමතරව ඉෂාරා සෙව්වන්දි නැමැති සැකකාරියට පලායාමට ආධාර අනුබල දුන් බවට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් තුන්දෙනෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
එමෙන්ම එම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සහ රැඳවුම් භාරයේ සිටින සැකකරුවන් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන අතර ඒ ඔස්සේ වැඩිදුර විමර්ශන සිදු කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ පවසා තිබේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මේ වනවිට රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන් තවදුරටත් ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් විදේශවලට පලා ගොස් සිටින සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේය.





