මීට සති දෙකකට පෙර සිදුවූ වායුගෝලයේ කැළඹීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයෙන් වායු දුෂණ කාරක ඇතුල් වීම නිසා වායු දත්ත දර්ශක ඉහළ ගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන පැවසුවේ උතුර, උතුරු මැද වායු දත්ත අගය 150ත් 200 ත් අතර අගයට ගොස් ඇති අතර මෙය අහිතකර තත්වයක් බවයි.
වායු ගෝලයේ මෙම අහිතකර තත්ත්වය මත ශ්වසන අපහසුතා ඇති අයට ගැටලු ඇතිවිය හැකි හෙයින් හුස්ම ගැනීමේ අපහසුතා, උගුර කැසීම් ආදී තත්ත්වයන් මතුවන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවෙන ලෙස ගුණවර්ධන මහතා අවධාරණය කළේය.
”අද උදෑසන වනවිට වායු දත්ත දර්ශක අගයන් ඉහළ ගිහිල්ලා. විශේෂයෙන් උතුර, උතුරු මැද වායු දත්ත අගය 150යි. මෙය අහිතකරයි. මේකට හේතුව අන්තර් දේශ සීමා අතර සිදුවන වායු සංසරණය. මීට සති දෙකකට කලින් සිදුවුන වායුගෝලයේ කැලඹීම නිසා අපේ රටට උතුරු ප්‍රදේශයෙන් වායු දුෂණ කාරක ඇතුල්වෙලා තියෙනවා ඒකයි හේතුව. ඊයේ 150-200 අතර තිබුනේ. අපි පුරෝකථනය කරනවා ඉදිරියේදී මේක අඩුවේවී කියලා. අපේ රටේ පරිසර දුෂණය අවමකරගන්න ඇප කැප වෙලා කටයුතු කරමින් ඉන්නවා. වනාන්තර ප්‍රමාණය වැඩි කරගන්න උත්සහ කරනවා නමුත් මේ සංසිද්ධිය ඇතිවෙන්නේ අන්තර් දේශ සීමා අතර. අපේ රටින් බහිරව ඇතිවෙලා තියෙන වායු දුෂක රටට ඇතුල්වීම. මේක තමයි දැන් ඇතිවෙලා තියෙන ගැටළුව.” යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.





