2026 අයවැයට පෙර සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පවතින් ගැටළු, විශේෂයෙන් වෛද්‍යවරු මුහුණ දී සිටින ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් යෝජනාවලියක් ආණ්ඩුවට භාර දී තිබුණද අයවැය ඉදිරිපත් කිරීමට පෙර ආණ්ඩුවේ පාර්ශවයෙන් සාකච්ජාවක් නොලැබීම නිසා අයවැය තුළ එම අඩුපාඩු අවධානයට ලක් වී නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේය.
අද (11) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුදතදාස පැවසුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අයවැය යෝජනා සකස් කර ඇත්තේ සෞඛ්‍ය පද්ධතියේ ඇති දුර්වලතා සහ අඩුපාඩු නොදන්නා කෙනෙක් බවයි.
සෞඛ්‍ය සේවාව ගුණාත්මක මට්ටමින් පවත්වා ගැනීම රජයේ වගකීමක් වුවත් එය මගහැරී ඇති බව පෙනී යන බවයි ඔහු තවදුරටත් පැවසුවේ.
”සෞඛ්‍ය පද්ධතියේ තියෙන ගැටලු සම්බන්ධව විසඳුම් සොයන්න රජයට වගකීමක් තිබිය යුතුයි. වෛද්‍යවරුන් අතර දැඩි නොසන්සුන්තාවක් ඇතිවල තියෙනවා මේ 2026 අයවැය සම්බන්ධව. මේ නිසා සෞඛ්‍ය පද්ධතිය ඉදිරියේදී විශාල ගැටලු රාශියකට මුහුණ දීමට නියමිතයි. අපි එය හදුනාගෙන තියෙනවා. අපේ විධායක සභාව රැස් වෙලා මේ සම්බන්ධව කතා කළා. මේ වගේම අද හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳෙව්වා මේ සඳහා රට පුරා ඉන්න සියලුම වෛද්‍යවරු පැමිණියා. මේ අයවැය සම්බන්ධව අපි දීර්ඝව කතාකළා. අපිට තීරණය කරන්න තියෙන්නේ ජනාධිපතිතුමාව මේ අයවැය සකස් කිරීමේදී නොමඟ යවලා තියෙනවා.” යනුවෙන් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කළේය.
ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණ කිහිපයකට එළඹ තිබේ.
සෞඛ්‍ය පද්ධතියේ අඩුපාඩු සම්බන්ධව මහජනතාව දැනුවත් කිරීම. මෙහිදී සියලු රෝහල්වලට පැමිණෙන, සායනවලට පැමිණෙන මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කිරීම.
රජයට යොමුකර තිබෙන ගැටලුවලට විසඳුම් නොලැබෙන්නේ නම් එළඹෙන නොවැම්බර් 17 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට යොමුවීම.
රෝහල්වල ඖෂධ නැත්නම් ඒවා පිටතින් ලබාගන්නා ලෙස ලියා නොදීම.
යම් පරීක්ෂණයක් රජයේ රෝහලෙන් කළ නොහැකි නම් එය පිටතින් කිරීම සඳහා ලියා නොදීම.
වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක් ලෙස දෛනිකව සිදුකරන සායනවලට හැර අලුතින් සායන සඳහා සහභාගී නොවීම. ඇතුළු තීරණ වලට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැමිණ තිබේ.





