/ Nov 13, 2025

කිරින්දේ ගහන්න හදපු ගේම!

කිරින්ද අඳගලවැල්ල වෙරළ තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී අද (12) ගොඩබිමට ප්‍රවාහනය කරමින් තිබූ විෂ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය සහ දකුණු පළාත් පොලිස් කණ්ඩායමක් කටයුතු කර තිබුණි.

තිස්සමහාරාම ප්‍රදේශයට මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය රැගෙන එන බවට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව එම වැටලීම සිදු කර ඇති අතර ඊට දකුණු පළාතේ පොලිස් කණ්ඩායමකගේ සහයද ලබා ගෙන තිබේ.

ගැඹුරු මුහුදේ සිට බහුදින ධීවර යාත්‍රාවකින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගයක් කුඩා බෝට්ටුවකට මාරු කර ඇති අතර එම කුඩා බෝට්ටුවෙන් වෙරළ දෙසට රැගෙන ආ මත්ද්‍රව්‍ය කඹයක් ආධාරයෙන් මුහුදේ පාවෙන සේ දමා ගොස් ඇත. පොලිස් සෝදිසි මෙහෙයුමේදී මුහුදේ පාවෙමින් තිබූ විෂ මත්ද්‍රව්‍ය ඇතුළත් මලු 19ක්ද පොලිස් භාරයට ගෙන ඇත.

කිලෝග්‍රෑම් 345ක් පමණ බරකින් යුතු එම මත්ද්‍රව්‍ය තොගය හෙරොයින් බවට සැකකෙරෙන අතර වෙරළ ප්‍රදේශයේදී සැකකරුවන් 7ක් සහ පසුව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිව තිබේ.

එම මත්ද්‍රව්‍ය ජාවාරමට යොදාගත් බව කියන රථවාහන 6ක්ද පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ එම වෙරළ තීරය ආශ්‍රිතව කලක පටන් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුව ඇති බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top