/ Dec 06, 2025

තවත් පිටු ගැලවෙන්න කලින් වාර්තාව පාර්ලිමේන්තුවට දෙන්න!

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධ වාර්තාවේ පිටු ගලවා ඇති බව ජනාධිපතිවරයා දැනගෙන ඇත්තේ බලයට පත්වී වසරක් ගත වූ පසුව වන අතර තවදුරටත් එහි පිටු ගැලවීමට පෙර එහි සියලු වාර්තා පාර්ලිමේන්තුවට ලබා දීමට කටයුතු කරන ලෙස සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කළේය.

ඔහු මේ බව පැවසුවේ අද (26) සමඟි ජන බලවේගයේ මාධ්‍ය හමුවේදීය.

පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහමොළකරුවන් සොයා ගැනීමට ආණ්ඩුව තවමත් අපොහොසත් වී ඇත්තේ එම ප්‍රහාරය සිදුවනවිට රජයේ ඉහළ නිලවල සිටි නිලධාරීන් වත්මන් ආණ්ඩුවේද ඉහළ නිල්වන සිටින හෙයින් යැයිද මන්ත්‍රීවරයා චෝදනාත්මකව ප්‍රකාශ කරන ලදී.

”පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධ වාර්තාවේ පිටු ගලවා ඇති බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. කෙසේ නමුත් පාස්කු බෝම්බ ප්‍රහාර වාර්තාවේ පිටු ගලවපු බව ජනාධිපතිවරයා දැන ගන්නේ ඔහු ජනාධිපතිවරයා වී වසරකට පසුවයි. පාස්කු බොම්බ ප්‍රහාරය සම්බන්ධ වාර්තාව ආණ්ඩුවේ ආරක්ෂක අංශවල ප්‍රධානීන්වත් බලලා නැහැ. ඔවුන් මෙම වාර්තාව බලලා තිබෙන්නෙත් වසරකට පසුව. කෙසේ නමුත් පාස්කු බොම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හෙළි නොකළ ජනාධිපති කොමිසන් වාර්තා රැසක් තිබෙනවා. ඒ වාර්තා පාර්ලිමේන්තුවට ලබාදෙන්න අනුර දිසානායක ජනාධිපතිවරයා කටයුතු කළ යුතුයි. ඒ වගේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ පුද්ගලයන් ලබාදුන්න සාක්ෂි පාර්ලිමේන්තුවට තවමත් ලැබී නැහැ. ඒ වගේම පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධ වාර්තාව තවත් තියාගෙන හිටියොත් තවත් පිටු අතුරුදහන් වෙන්න පුලුවන්. ඒ නිසා වහාම එම වාර්තා පාර්ලිමේන්තුවට ලබා දෙන්න කටයුතු කළ යුතුයි. ඒ වගේම පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු අල්ලා ගන්නත් පහසුයි. පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධ වාර්තාවේ පිටු ගලවා තිබෙන්නේ මහමොළකරු. ඒ නිසා පිටු ගලවපු පුද්ගලයා අත්අඩංගුවට ගන්න ජනාධිපතිවරයාට හැකියාව තිබෙනවා. කෙසේ නමුත් කෙදිරි ගාන්නේ නැතිව පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ යුතු දේවල් වහාම ඉටු කරන්න. ඒ වගේම පාස්කු බොම්බ ප්‍රහාරය සිදුවන කාලයේ එවක රජයේ සිටි නිලධාරින් වර්තමාන ආණ්ඩුවෙන් ඉහළ නිලතලවල සිටිනවා. ඒ නිසා පාස්කු බොම්බ ප්‍රහාරයේ මහ මොළකරු කවුරුන්දැයි සොයාගන්න ආණ්ඩුව නොහැකිවෙලා තිබෙන්නේ. ඒ පිරිස හෙළිදරව් වන නිසා තමයි ආණ්ඩුව විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට ඉඩ ලබා නොදුන්නේ. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා භාර නොදුන්න වාර්තාව වහාම පාර්ලිමේන්තුවට භාර දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.” යනුවෙන් මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top