/ Jun 09, 2026

හඬ පටයේ අලගිය මුලගිය තැන් හොයා ගන්න ඇමති හදුන්නෙත්ති CID යයි!

සමාජ මාධ්‍යය තුළ සංසරණය වන හඬ පටයක් සම්බන්ධයෙන් අද (26) අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

සහල් කන්ටේනර් පහක් වරායෙන් නිදහස් කර ගැනීමට නොහැකි වීම ගැන පුද්ගලයෙක් තොරතුරක් ලබා දුන් අතර ඒවා නිදහස් කරගැනීමට නොහැකි නිසා රජයේ භාරයට ගන්නා ලෙස අදාළ පුද්ගලයා පැවසූ බවත් ඒ සම්බන්ධයෙන් තමන් රේගුවෙන් කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ එම තැනැත්තා පවසන පරිදි එම සහල් ජනතාවට නොමිලේ බෙදා දිය නොහැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එම සහල් ආනයන බලපත්‍රයක් නොමැතිව ගෙන්වා ඇති හෙයින් එය රාජසන්තක කිරීමට සිදුවන අතර නොමිලේ බෙදා දිය හැක්කේද රාජසන්තක කිරීමෙන් පසුව වන බව තමන් අදාළ පුද්ගලයාට පැහැදිලි කළ බවද අමාත්‍යවරයා කියාසිටියේය.

එපමණක් නොව එසේ රාජසන්තක කර නොමිලේ බෙදා දුන්නද වරාය ගාස්තු වන රු. මිලියන 8.4 අදාළ තැනැත්තාට ගෙවීමට සිදුවන බව පැවසූ බවයි හදුන්නෙත්ති අමාත්‍යවරයා සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කරමින් මාධ්‍ය වෙත පැවසුවේ.

ඒ අනුව අදාළ සිද්ධියේ සැබෑ තත්ත්වය පැහැදිලි කිරීමක් පමණක් සිදුකළ අතර අදාළ පුද්ගලයාගේ අභිලාශය කුමක්ද යන්න තමන් නොදන්නා අතර ඔහුගේ සහල් නිදහස් කරගැනීමට නොහැකිව වීම නිසා අදාළ කතාබහ චේතාන්විතව තමන් අපහසුතාවට පත් කිරීමට යූ ටියුබ් වෙත දුන්නාද යන්නත්, ඔහුගේ අභිලාශය කුමක්ද යන්නත්, සහල් ආනයනය කළ ක්‍රමය වැරදි නම් ඒ ගැනද පරික්ෂා කළ යුතුවන හෙයින් මෙම සියලු කරුණු අනවරණය කරගැනීම වෙනුවෙන් තමන් පැමිණිල්ල සිදුකළ බව අමාත්‍යවරයා කියා සිටියේය.

මේ අතර හඬ පට විකෘති කර ඇමතිවරයෙක්, මහජන නියෝජිතයෙක් ලෙස තමන්ගේ චරිත ඝාතනය කිරීමට කටයුතු කිරීම පිළිබඳවද පරීක්ෂා කිරීම අවශ්‍ය බවයි ඔහු සඳහන් කළේ.

මේ දියත් වන්නේම ආණ්ඩුවේ ගමන කකුලෙන් අදින සැලැස්මක් වන අතර මඩ ගසා, අවලාද නගා, චරිත ඝාතනය කර වැට්ටවිය හැකි පුද්ගලයින් නොවන බව ද එහිදී අමාත්‍යවරයා අවධාරණය කරන ලදී.

එය අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඔප්පු වී තිබෙන බවද හදුන්නෙත්ති මහතා කියාසිටියේය.

මෙම පැමිණිල්ල අපහාස නඩුවක් දක්වාම ගෙන යන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top