/ Dec 17, 2025

දැන් තියෙන්නේ විකෘතියක්. අලුත් එකක් ඕන කලයක් – සජිත්

අප රටේ පවතින ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ හා සැලසුම අසාර්ථක හා විකෘති ක්‍රමවේදයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එහෙයින් මෙය වෙනස් කර නවීන ආකාරයේ ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක් සැලසුමක් දියත් කරන්නට කටයුතු කළ යුතු බවත් මේ ඛේදවාචකයෙන් පාඩම් ඉගෙන ගෙන ඉදිරියට යා යුතු බවත් පවතින ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ ගැන ජනතාවගේ විශ්වාසය භංග වී ඇති බවත් ඔහු කියා සිටියි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසමේ බව කියා සිටියේ සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ දඹදෙණිය රෝහලට ලක්ෂ 29ක් වටිනා රෝහල් උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී Patient Monitor 5ක් සහ Syringe Pump 2ක් ලබා දීම සිදු විය.

මේ මොහොත වන විට මේ ආපදාවෙන් පසුව විපතට පත් ලක්ෂ ගණනින් ජනතාවගේ ජීවනෝපාය කඩා වැටී ජීවිත විනාශ වී උන්හිටිතැන් අහිමි වී සමස්ත ජන ජිවිතයම විනාශ වී ඇති බවත් කුඩා දරුවාගේ සිට තරුණ පරපුර දක්වා බරපතල ව්‍යසනයකට පත්වී ඛේදනීය තත්ත්වයකට මුහුණ දෙන අවස්ථාවක මේ ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ තුළ වෙනසක් සිදුවිය යුතු බවත් ඔහු අවධාරණය කරයි.

අයහපත් කාලගුණ තත්ත්ව නිවැරදිව වාර්තාකරණය කරන තැන සිට කාර්යක්ෂම පෙර සූදානමක් සිදුවිය යුතු බවද ඔහු පවසයි.

රටට අවශ්‍ය ඩොප්ලර් රේඩාර් උපකරණ නවීන තාක්ෂණයේ උපකරණ අප රටට තවමත් නොමැති අතර සුනාමිය නිසා දසදහස් ගණනින් ජිවිත අහිමි වී ඇති මොහොතක මේ විනාශය ගැනත් පෙර දැනුම් දීම් සති 2ක් පුරා සිදුවන විටත් ආපදා කළමනාකරණ යාන්ත්‍රණය තුළ ඊට වගකිවයුත්තන් බලා ගෙන සිටිම නිසා ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ මානව හා මුලික අයිතිය උල්ලංඝනය වී ජීවත් වීමේ අයිතිය අහිමි වූ බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරයි.

අනාවැකි කීම, පෙර සූදානම, කාලගුණ දේශගුණ තත්ත්ව ගැන ජනතාව සන්නිවේදනය ගැන පැහැදිලි වෙනසක් ඇති කළ යුතු බවද ඔහු සඳහන් කරයි.

මේ ක්‍රමය ගැන රටේ ජනතාවගේ විශ්වාසය නැතිව ඇති නිසා ජනතාවට ලබා දිය යුතු සහන කඩිනමින් ලබා දිය යුතු බවත් සහන ලබා නොදෙන්න හේතු දක්වනවා වෙනුවට කඩිනමින් විපතට පත් ජනතාවට සහන දිය යුතු බවත් ව්‍යාපාර ක්ෂේත්‍රය, කෘෂිකාර්මික හා පශු සම්පත් ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් අද විනාශ වී ඇති බවත් ඉල්ලුම් හා සැපයුම් දාම කැඩී ගොස් ඇති මොහොතක කඩිනම් විසදුම් හා සහන අවශ්‍ය බවත් මේ අවස්ථාවේ කඩිනමින් වැඩ කිරිම රජයේ යුතුකම බවත් විපක්ෂ නායකවරයා පෙන්වාදෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top