ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු පිරිසක් විසින් පොලිස් නිලධාරියෙකුට කළ බව කියන පහරදීමක් සම්බන්ධ තොරතුරු වාර්තා වූ අතර රෝහල්ගතව සිටි එම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ අයුතු අවහිරය, සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනාවලට වන අතර අද (22) ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
පසුගිය 20 වැනි දින රාත්‍රී 08.40ට පමණ සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකු ඔහුගේ රාජකාරි නිම කර නිවසට යමින් සිටියදී කළුගල පන්සල අසලදී අදාළ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් තමාට පහරදී යතුරුපැදිය පැහැරගෙන ගිය බවට 119 මධ්‍යස්ථානය මගින් කොළොන්න පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී තිබු අතර එදින රාත්‍රී 10.10ට පමණ ජාතික ජනබලවේග රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා විසින් ද කළුගල සිට හල්වින්න දෙසට කැබ් රථයෙන් ගමන් කරමින් සිටියදී සූරියකන්ද පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු ඔහුගේ යතුරුපැදිය හරස් කර තම කැබ් රථය නවතා මාර්ගය අවහිර කර පහරදීමට තැත් කළ බව දන්වමින් කොළොන්න පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර ඇති බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.





