/ Jan 12, 2026

දැන් ඉතින් වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපති මම.හොඳින් හෝ නරකින් ග්‍රීන්ලන්තයත් ගන්නවා – ට්‍රම්ප්

මේ වන විට තමන් වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ප්‍රහාරයක් දියත් කර වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස්ව අමෙරිකානු හමුදාව විසින් අල්ලා ගැනීමත් සමඟ වෙනිසියුලාවේ දේශපාලන අස්ථාවරත්වයකට ගිය අතර උප ජනාධිපති ඩෙල්සි රොඩ්රිගස් ජනාධිපති ධූරයේ දිවුරුම් දෙන ලදී. පළමු මොහොතේදීම ඇය ජනාධිපති ට්‍රම්ප් කෙරෙහි සිය අවනතභාවය පෙන්නුම් කරමින් ඇමරිකාව සමඟ සුහදව කටයුතු කිරණ බවක ප්‍රකාශ කළාය.

කෙසේවෙතත් මේ වන විට වෙනිසියුලාවේ අභ්‍යන්තර කටයුතු කෙරෙහි ජනාධිපති ට්‍රම්ප් මැදිහත්වෙමින් සිටින අතර වෙනිසියුලාවේ තෙල් වෙළෙඳපොළට පිවිසීමට ඇමරිකානු සමාගම් වෙතද ආරධනා කර තිබේ.

වෙනිසියුලාව කෙරෙහි ඇමරිකාව සිදුකරමින් තිබෙන බලහත්කාරය පිළිබඳ ජාත්‍යන්තර විරෝධය පළවෙමින් තිබෙන පසුබිමක තමන් වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපති බවට ප්‍රකාශ කිරීමට තරම් ජනාධිපතිගේ ට්‍රම්ප්ගේ බලසම්පන්නභාවය කැපී පෙනෙමින් ඇත.

මේ අතර ලොව තවත් රටවල් කිහිපයකටම ට්‍රම්ප්ගේ ඇස යොමුව තිබෙන අතර එම කාරණයේදී ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ඔහු දැඩි ස්ථාවරයක පසු වෙන බව පෙනී යයි.

‘පහසුවෙන්’ නොහැකි නම් ‘අපහසුවෙන්’ හෝ ග්‍රීන්ලන්තය අත්පත් කරගන්නා බවයි අමෙරිකානු ජනාධිති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර ඇත්තේ.

ඔහු පවසන්නේ ග්‍රීන්ලන්තය අල්ලාගැනීමට තමන් ඉදිරිපත් නොවුණහොත් අනාගතයේදී රුසියාව හෝ චීනය එය අත්පත් කරගනු ඇති බවයි. එහෙයින් ඔවුන්ට පෙර තමන් ඉස්සර වන බව ට්‍රම්ප් පවසයි.

ට්‍රම්ප් විශේෂයෙන් පවසන්නේ අපට රුසියාව හෝ චීනය අසල්වැසියෙක් කරගන්න ඕන නෑ” යනුවෙනි.

ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම බලපෑම් හමුවේ ග්‍රීන්ලන්ත පක්ෂ විපක්ෂ නායකයින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ තමන්ට අමෙරිකානුවෙක් වීමට අවශ්‍ය නොමැති බවයි.

එමෙන්ම ඩෙන්මාර්ක ජාතිකයෙක් වීමට අවශ්‍ය නොමැති බවත් ඔවුහු පවසති.

ඒ අනුව ඔවුන් තවදුරටත් ස්වාධීනව කටයුතු කළ යුතු බවත් ග්‍රීන්ලන්තයේ අනාගතය ග්‍රීන්ලන්ත ජනතාව විසින් තීරණය කළ යුතු බවත් එම ප්‍රකාශනයෙන් පවසා තිබේ.

ග්‍රීන්ලන්තය ඩෙන්මාර්ක පාලනය යටතේ පවතින රටක් වුවද එරටට අනන්‍ය වූ ස්වාධීන පාලනයක් එහි පවතියි.

එහෙත් ඇමරිකානු ජනාධිපතිවරයාගේ හැසිරීම මුල්කරගනිමින් එහි පැවති සාමකාමී බවට බලපෑම් එල්ල වී ඇති බව පෙනී යයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top