/ Oct 25, 2026

ප්‍රංශයේ ඇවිලෙන විරෝධතා – ලක්ෂ ගණනින් විරෝධතාවලට එක්වෙයි.1000කට වැඩි පිරිසක් අත්අඩංගුවට!

ප්‍රංශය පුරා තවදුරටත් විරෝධතා පැවැත්වෙන අතර එය උත්සන්න වී පවතින අතර ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එම විරෝධතා සමඟ එක්වී සිටින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

විරෝධතවලදී පුද්ගලයින් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (24) රාත්‍රියේ ගැටුම් කිහිපයක් ද ඇති වූ බව එරට නිලධාරීන් තහවුරු කර ඇත.

බොහෝ දුරට සාමකාමීව පැවති විරෝධතා දිනයකින් අනතුරුව, පැරිස් ඇතුළු නගර කිහිපයකදී විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරක යොදා ගෙන තිබෙන අතර මාර්සෙයි නගරයේදී විරෝධතාකරුවන් බාධකවලට ගිනි තැබීම සිදුකර තිබෙන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. බෝඩෝ නගරයේදී පිරිසක් වෙළඳසැලක පුවරු ගලවා දමා ඇත.

කෙසේ වෙතත්, පසුගිය සති අන්තයේ දැකිය හැකි වූ ආකාරයේ – ප්‍රංශයේ නූතන ඉතිහාසයේ දරුණුතම අක්‍රමිකතා සිදුවූ – ආකාරයේ කෝලාහල සහ කොල්ලකෑම් මෙවර වළක්වා ගැනීමට නිලධාරීන්ට හැකි වී තිබේ.

සෙනසුරාදා විරෝධතාවලට ආසන්න වශයෙන් පුද්ගලයින් 410,000ක් සහභාගී වූ බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන අතර, වෘත්තීය සමිති පවසන්නේ එම සංඛ්‍යාව 800,000ක් පමණ වන බවයි.

ජීවන වියදම ඉහළ යාම සහ පාසල්වල පවතින දුර්වල තත්ත්වයන්ට එරෙහිව පැවති මෙම විරෝධතා, පසුගිය වතාවේ මෙන් පොලිස් නිලධාරීන්ට පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්වීම, ව්‍යාපාරික ස්ථාන සිය ගණනක් කොල්ලකෑම සහ ගොඩනැගිලිවලට ගිනි තැබීම වැනි අවුල් සහගත තත්ත්වයන් දක්වා වර්ධනය වීම වැළැක්වීම සඳහා පොලිස් නිලධාරීන් 70,000ක් පමණ යොදවා තිබූ අතර නගර කිහිපයක සීමා පනවා තිබුණි.

පිළිගත් වෘත්තීය සමිති විසින් සංවිධානය කරනු ලබන විරෝධතාවලට පමණක් අවසර දෙන බව ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මෙම සතිය මුලදී ප්‍රකාශ කර තිබුණි. මෑත දිනවල පැවති කඩිනම් අධිකරණ විභාගවලින් අනතුරුව, දේපළ විනාශ කිරීම, ගිනි තැබීම් සහ කොල්ලකෑම් සම්බන්ධයෙන් පුද්ගලයින් සිය ගණනක් සිරගත කරනු ලැබීය.

සෙනසුරාදා (ඊයේ) පැරිසියේ ‘පෝර්ට් ඩි ඉතාලි’ (Porte d’Italie) සිට ‘පෝර්ට් ඩි වින්සෙන්ස්’ (Porte de Vincennes) දෙසට පැවති සාමකාමී පාගමන අවසානයේදී විරෝධතාකරුවන් සහ කැරලි මර්දන පොලිසිය අතර ගැටුම් ඇති විය. මෙම පොලිස් මෙහෙයුම සඳහා සාමාන්‍යයෙන් සංවිධානාත්මක අපරාධ සහ ත්‍රස්ත විරෝධී කටයුතු සඳහා යොදවන විශේෂ ඒකකයක් ද එක්ව සිටියේය.

සමහර විරෝධතාකරුවන් තාවකාලික බාධක ඉදි කරමින් පොලිස් නිලධාරීන් දෙසට විවිධ දේ විසි කරන අයුරු දක්නට ලැබුණු අතර, මෝටර් රථ අලෙවි සැලක ජනෙල් කවුළු කඩා දමමින් සිටි, මුහුණු ආවරණය කරගත් තරුණයින් පිරිසකට පොලිසිය පොලු ප්‍රහාර (baton-charge) එල්ල කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top