/ Jan 23, 2026

ලන්ඩන් නඩුව:රනිල් වෙනුවෙන් නීතිඥ පෙරමුණක්?

පොදු දේපල අවභාවිතය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් නීතිඥවරු කණ්ඩායමක් විසින් Free Lawyers ලෙස හදුන්ව දෙමින් මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂයට හිතවත් පසුගිය යහපාලන සමයේදී ද ආණ්ඩුව සමඟ සමීපව කටයුතු කළ ප්‍රසිද්ධ නීතිඥවරු කණ්ඩායමක් ඊට සම්බන්ධ බවට සඳහන්.

ඔවුන්ගේ මූලික ඉලක්කය වී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා තිබෙන නඩුව ජනවාරි 28 වෙනි දින නැවත කැඳවීමට පෙර නීති ක්ෂේත්‍රය තුළ අවුල් සහගත තත්වයක් ඇති කිරීම බව කියවෙයි.

හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම වෙනුවෙන් රජයේ මුදල් අවභාවිත කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් එම නඩුව පවරා ඇත.

ප්‍රශ්නගත සංචාරය 2023 වසරේ සැප්තැම්බර් 22 සිට සැප්තැම්බර් 23 වන දින දක්වා සිදු කළ දෙදින සංචාරයක් වන අතර ඒ සඳහා රු. මිලියන 16කට අධික රජයේ මුදල් වැය කර ඇතැයි අනාවරණය වී තිබේ.

මෙම සංචාරය නිල සංචාරයක් බවට හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් පැවසූ නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලන්ඩන් සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ එය නිල සංචාරයක් නොව පෞද්ගලික සංචාරයක් බවයි.

කෙසේවෙතත් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව අධි චෝදනා ගොණු කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේද බෙදුණු මතයක් මතුව ඇතැයි වාර්තා විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top