2026 -27 මූල්‍ය වර්ෂය සඳහා වන යුනියන් අයවැය ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය ඊයේ (01) එරට පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළාය.
එහිදී 2026-27 මූල්‍ය වර්ෂය සඳහා වන ඉන්දීය අයවැය පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණයක් ඉන්දීය මුදල් අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරන ලද අතර, මෙම සැලසුම මගින් දේශීය නිෂ්පාදන ක්ෂේත්‍රය නංවාලීම, යටිතල පහසුකම් සංවර්ධනය සහ තාරුණ්‍යය සවිබල ගැන්වීම යන ප්‍රධාන කරුණු කෙරෙහි අවධානය යොමු කර තිබුණි.
විශේෂයෙන්ම ජෛව ඖෂධ, රෙදිපිළි සහ බලශක්ති සංක්‍රාන්ති වැනි ක්ෂේත්‍ර සඳහා විශාල මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරමින් ආයෝජන හිතකාමී වාතාවරණයක් නිර්මාණය කිරීමට මෙහිදී යෝජනා වී ඇත.
මීට අමතරව, බදු ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල්කරණය මගින් ව්‍යාපාරික කටයුතු පහසු කිරීම සහ ආර්ථික වර්ධනය වේගවත් කිරීම රජයේ ප්‍රධාන අරමුණ වන අතර මෙම ප්‍රකාශනය මගින් ඉන්දියාව ගෝලීය වෙළඳපොළ තුළ වඩාත් ශක්තිමත් ස්ථානයකට පැමිණීමට අපේක්ෂා කරන ආකාරය දක්වා තිබේ.
ඉන්දියාවේ 2026-27 මධ්‍යම අයවැය මගින් එරට ආර්ථික වර්ධනය සඳහා ඉදිරිපත් කර ඇති ප්‍රධාන තේමාවන් සහ ප්‍රවේශයන් කිහිපයකි.
මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ප්‍රකාශ කළ පරිදි, මෙම අයවැය “තරුණ ශක්තිය මත පදනම් වූ වර්ධනයක්” ඉලක්ක කර ගනිමින් සකස් කර තිබේ.
ඉන්දියාවේ ජනගහන ප්‍රතිලාභය ඵලදායී ධාරිතාවක් බවට පත් කිරීම සඳහා කුසලතා සංවර්ධනය, රැකියා උත්පාදනය සහ ව්‍යවසායකත්වය කෙරෙහි මෙහිදී අවධානය යොමු කර ඇත.
ඒ අනුව ගෝලීය ආර්ථික අස්ථාවරත්වය හමුවේ ඵලදායිතාව සහ තරඟකාරිත්වය වැඩි දියුණු කිරීම මගින් ආර්ථික වර්ධනය වේගවත් කිරීම සහ පවත්වා ගැනීම, මානව ප්‍රාග්ධනය, කුසලතා සහ ආයතනික හැකියාවන් ශක්තිමත් කිරීම මගින් අභිලාෂයන් ඉටු කිරීම සහ ධාරිතාව ගොඩනැගීම සහ සියලුම ප්‍රදේශ, ප්‍රජාවන් සහ අංශ සඳහා සාධාරණ අවස්ථා සහතික කරමින් ‘සබ්කා සාත්, සබ්කා විකාස්’ (සැමට සහය, සැමගේ සංවර්ධනය) සංකල්පය ඉදිරියට ගෙනයාම කෙරෙහි මූලික අවධානය යොමුව තිබේ.
මේ අතර යෝජනා කෙරෙහි අවධානය යොමුකර ඇත්තේ මෙපරිද්දෙනි.
උපායමාර්ගික සහ පෙරමුණේ පවතින අංශවල නිෂ්පාදන කටයුතු පුළුල් කිරීම, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සැපයුම් දාමයේ ප්‍රධාන හවුල්කරුවන් ලෙස ශක්තිමත් කිරීම, සේවා අංශය (Services sector) වර්ධනය, රැකියා සහ අපනයන සඳහා ප්‍රධාන මෙවලමක් ලෙස ශක්තිමත් කිරීම, පෞද්ගලික ආයෝජන දිරිමත් කිරීම සඳහා අඛණ්ඩව මහජන ප්‍රාග්ධන වියදම් පවත්වාගෙන යාම ය.
මේ සඳහා 2027 මූල්‍ය වර්ෂයේදී ඉන්දීය රුපියල් ට්‍රිලියන 12.2 ක මුදලක් වෙන් කර ඇත.
දිගුකාලීන බලශක්ති සුරක්ෂිතතාව සහ දේශගුණික තාක්ෂණයන් කෙරෙහි අවධානය යොමු කිරීමේදී ව්‍යාපාර කිරීමේ පහසුව සහ ප්‍රාග්ධන ගලා ඒම නියාමන ක්‍රියාවලීන් සරල කිරීම, බදු නිශ්චිතභාවය සහ විදේශ සෘජු ආයෝජන පහසු කිරීම කෙරෙහි යොමුව ඇති බව පෙනෙන්නට තිබේ.
ප්‍රාන්ත අතර තරඟකාරිත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා 2025 දී ‘ප්‍රාන්ත ආයෝජන හිතකාමී දර්ශකය’ දියත් කිරීමට ද සැලසුම් කර ඇත.
මීට අමතරව, නිෂ්පාදන අංශය දියුණු කිරීම සඳහා ‘Biopharma SHAKTI’ (රු. කෝටි 10,000 ක වියදමකින්), ‘ඉන්දීය අර්ධ සන්නායක මෙහෙයුම 2.0’ (ISM 2.0) (රු. කෝටි 40,000 ක වියදමකින්) සහ රෙදිපිළි අංශය සඳහා ඒකාබද්ධ වැඩසටහන් ද මෙම අයවැය මගින් හඳුන්වා දී ඇත.
මේ අතර, ඉන්දියාවේ 2026 -27 මූල්‍ය වර්ෂය සඳහා වන අයවැය මගින් විදේශ ආධාර ලබාදීමේ ප්‍රමුඛතාවන්හි පැහැදිලි වෙනසක් සිදුකර ඇති අතර
එහිදී ශ්‍රී ලංකාව සඳහා වෙන්කළ ආධාර සහ ණය ප්‍රමාණය ඉන්දීය රුපියල් බිලියන 4 දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ නංවා තිබේ. භූ දේශපාලනික සහ ආර්ථික උපායමාර්ග මත පදනම්ව භූතානය සහ නේපාලය සඳහා වන ප්‍රතිපාදන වැඩි කර ඇති නමුත්, බංග්ලාදේශයට ලබාදෙන සහාය අඩකින් අඩු කිරීමටත්, ඉරානයේ චබහාර් වරාය ව්‍යාපෘතිය සඳහා වන අරමුදල් සම්පූර්ණයෙන්ම නතර කිරීමටත් ඉන්දීය රජය තීරණය කර තිබේ.
මෙම අයවැය හරහා ඉන්දියාවේ නිෂ්පාදන ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සහ කෘතිම බුද්ධිය වැනි නවීන තාක්ෂණයන් සඳහා ආයෝජනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර ඇත.
ඒ අනුව ලොව සිව්වන බලවත් ආර්ථිකය ලෙස එරට රජය රාජ්‍ය ණය ප්‍රමාණය සහ මූල්‍ය හිඟය පාලනය කරමින් ශක්තිමත් ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට අපේක්ෂා කරයි.





