දකුණු කොරියාවේ ජින්ඩෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාර කිම් හී-සූ විසින් එරට පවතින ජනගහණ පරිහානියට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාව සහ වියට්නාමය වැනි රටවලින් තරුණ කාන්තාවන් “ආනයනය” කළ යුතු බවට කළ මතභේදාත්මක ප්‍රකාශයක් ආන්දෝලනයට ලක්ව තිබේ.
දකුණු ජොල්ලා ප්‍රාන්තයේ හේනම් සංස්කෘතික හා කලා මධ්‍යස්ථානයේ පැවති මහජන හමුවකදී ආණ්ඩුකාරවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇත. ක්වාන්ජු සහ දකුණු ජොල්ලා පරිපාලන ඒකක ඒකාබද්ධ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් පැවති මෙම හමුවට දේශපාලන නායකයින්, විද්වතුන් සහ ප්‍රාදේශීය වැසියන් විශාල පිරිසක් සහභාගි වූ බව සඳහන්.
දකුණු කොරියා ජනගහණය වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ප්‍රදේශ 89ක් හඳුනාගෙන ඇති බවත්, ඉන් සියයට 20ක්ම දකුණු ජොල්ලා ප්‍රාන්තයේ පිහිටා ඇති බවත් කියා සිටි ආණ්ඩුකාරයා 2000 වසරේ සිටම මෙම ජනගහන අර්බුදය පුරෝකථනය කර තිබුණද රජය හෝ විද්වතුන් ඒ සඳහා නිසි පියවර ගෙන නොමැති බවටද චෝදනා කළේය.
“අවසාන විසඳුම ලෙස හෝ අප ශ්‍රී ලංකාව හෝ වියට්නාමය වැනි රටවලින් තරුණ කාන්තාවන් ‘ආනයනය’ කර, ගම්බද ප්‍රදේශවල වෙසෙන අවිවාහක පුරුෂයන්ට විවාහ වීමට අවස්ථාව සලසා දිය යුතුයි. ඒ සඳහා විශේෂ ප්‍රතිපාදන සකස් කළ යුතුයි. මිනිසුන් නොමැති රටක කර්මාන්ත නගාසිටුවීමෙන් ඇති ඵලය කුමක්ද?”





