/ Feb 07, 2026

සේවා ආර්ථිකයේ වෙනසක් ගැන මහ බැංකු අධිපතිගෙන් යෝජනාවක්!

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට යල් පැන ගිය සේවා ආර්ථිකය පසෙකට තබා නවීන සේවා ආර්ථිකයකට යොමු විය යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ඒ අනුව මෙරට යල්පැනගිය සේවා සේවා ආර්ථිකයන් පසෙකට තබා සේවා ආර්ථිකය නවීනත්වයට පත් කළ යුතු බවයි මහ බැංකු බැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ.

මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (06) ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයේ වාර්ෂික ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා කෘෂිකාර්මික අංශය, කර්මික අංශය, මෙන්ම සේවා අංශය යන අංශ සියල්ලේම දායකත්වය ලබා ගත යුතු අතර එයින් මේ වන විට සේවා අංශයෙන් ආර්ථිකය වර්ධනය කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි ඔහු කියා සිටියේ.

ඒවා කෙටි කාලීන මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන ලෙස ක්‍රියාත්මක කළ යුතු බවත් තොරතුරු තාක්ෂණය, සංචාරක ක්ෂේත්‍රය වැනි ක්ෂේත්‍ර මගින් ආර්ථික වර්ධනයට වැඩපිළිවෙල සකස් කරන බවත් හෙතම සඳහන් කරන ලදී.

ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයේ වාර්ෂික ජාත්‍යන්තර සමුළුව ඊයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ කෙරුණි. එය දින දෙකක් පුරා පැවැත්වෙයි. මෙවර සම්මන්ත්‍රණයේ තේමාව වී තිබෙන්නේ සේවා අංශයේ පරිවර්තනය යන්නයි.

මෙම සමුළුවේ පැවැත්වෙන පර්යේෂණ සැසිවලදී අවසන් ප්‍රතිඵල ලෙස ලබාගන්නා ප්‍රතිපත්තිමය නිර්දේශ මාලාවන් රජයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ මගින් 2026 – 2030 රජයේ රාජ්‍ය ආයෝජන වැඩසටහන සඳහා මග පෙන්වීමක් ලබා දෙනු ලබන අතර එමගින් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සහ තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කිරීම අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාවේදී සමුළුව ඇමතූ ශ්‍රි ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති සම්මානිත මහාචාර්ය විජිතපුරේ විමල රතන හිමියෝ ප්‍රකාශ කර සිටියේ ලංකාවේ දේශපාලඥයින් ඇතුළු සියලු දෙනා කෘෂිකර්මාන්තයෙන් රටේ ආර්ථිකය නංවා ගැනීමට ක්‍රියා කරන නමුත් සේවා ආර්ථිකය මගින් පමණක් මේ පවත්නා තත්ත්වයෙන් අත්මිදී රට සංවර්ධනය කරා ගෙන යා හැකි බවත්ය.

එසේම දත්ත මත පදනම් වී තීරණ ගත යුතු බවත්, එවිට සත්‍යය මත පදනම්ව සංවර්ධනය කරා යන ගමන් මග සඳහා මඟ විවර කර ගත හැකිබවත් උන්වහන්සේ සඳහන් කළහ.

මෙම අවස්ථාවට කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඕ.ජී. දයාරත්න බණ්ඩා, ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ ලේකම් නිහාල් රොද්‍රිගු ඇතුළු ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයින් මෙන්ම විද්‍යාර්ථීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top