/ Feb 11, 2026

සංචාරක හා නිෂ්පාදන ක්ෂේත්‍රයේ උපයෝගීතාව ගැන රජයේ විශේෂ අවධානයක්!

රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දී අපේක්‍ෂිත ඉලක්කයට වඩා ඉහළ ප්‍රගතියක් අත් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පැවසුවේය.

විදේශීය ප්‍රේෂණ ඉපයීම්, සංචාරක කර්මාන්තය ඇතුළුව රටට මුදල් උත්පාදනය වන සෑම ක්ෂේත්‍රයකම ප්‍රශස්ත මට්ටමක් දැකීමට හැකියාව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ආපදා තත්ත්වයෙන් අනතුරුව රට යළි සංවර්ධනය කිරීමේදී ආයෝජන ලබා ගැනීම සහ ඒ තුළින් නිෂ්පාදනය ඉහළ නැංවීමේ ක්‍රමෝපායන් පිළිබඳව සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ඊයේ (08) මහනුවර කලාපීය ආර්ථික සහයෝගීතා ආයතනයේ දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ යම් රජයක් අයවැය මගින් ඇස්තමේන්තු ගත කරන බදු ආදායම උත්පාදනය කර ගැනීමට නොහැකි වුණු නමුත් වත්මන් රජයට එම ආදායමක් ඉතා කෙටි කාලයක් තුළ උත්පාදනය කර ගැනීමට හැකි වුණු බව හෙතෙම කීවේය. රට තුළ දුෂ්කරතාවයක් පැවතිය ද අපේක්ෂිත ආදායමෙන් 110%ක වර්ධනයක් ලබා ගැනීමට ඉකුත් වර්ෂයේදී රජයට හැකියාව ලැබුණු බවද අමාත්‍යවරයා පවසන ලදී.

රජයට හිමිවන සෑම මුදලක්ම මහා භාණ්ඩාගාරයට යොමුවන බවත් ඉන් සතයක් හෝ අපතේ නොවන බව කී අමාත්‍යවරයා ජනතාවට සහන ලබාදීම කඩිනමින් සිදුවන බවත් ඉහළ ආදායමක් උත්පාදනය කර ගැනීමේ ප්‍රතිලාභ ජනතාවට ඉදිරියේදී ලැබෙන බවත් එහිදී ප්‍රකාශ කළේය.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තනුර දිසානායක සහ ජගත් මනුවර්ණ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත ඇතුලු නිලධාරීන් සහ සංචාරක ක්ෂේත්‍රෙයේ පහසුකම් සපයන ආයතන නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top