දිට්වා ආපදාවෙන් හානි වූ අත්‍යාවශ්‍ය සේවාවන් 99%ක් මේ වන විට සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කර ඇති බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පැවසීය.
පශ්චාත් ආපදා සහන වැඩසටහන පිළිබඳ පැහැදිළි කිරීම සඳහා අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය කාර්යාලය කේන්ද්‍ර කරගනිමින් අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය ස්ථාපිත කර තිබේ.
විදුලිබලය, ඉන්ධන හා ගෑස් සැපයීම, රෝහල් සහ සෞඛ්‍ය සේවා, පොදු ප්‍රවාහනය, ජල සැපයීම සහ ජලාපවහනය ඇතුළු සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර ඇති අතර අත්‍යාවශ්‍ය සේවා ලබා ගැනීමේදී ඇතිවන ගැටලු හා පැමිණිලි කඩිනමින් වාර්තා කිරීම සඳහා 1904 ක්ෂණික දුරකථන අංකය හඳුන්වාදෙන ලදී. ඒ සම්බන්ධව තවදුරටත් ගැටලු ඇත්නම් ඉදිරිපත් කළ හැකි බවයි කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.
උඩරට දුම්රිය මාර්ගයේ පිළිසකර කිරීම් තවදුරටත් සිදු කෙරෙන අතර, ආපදාවෙන් දැඩි බලපෑමට ලක් වූ බදුල්ල, මහනුවර, නුවරඑළිය, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්කවල ජනතාව නැවත පදිංචි කිරීම පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ සාකච්ඡා පැවැත්වූ බවද ඔහු ප්‍රකාශ කළේය.
මෙම කටයුතු තවදුරටත් කඩිනම් කරගැනීම සඳහා හදිසි නීතිය පෙබරවාරි 28 දක්වා දීර්ඝ කර තිබේ. එම කාලය තුළ නැවත පදිංචි කිරීම් සහ ඉඩම් අත්පත් කර ගැනීම් සම්බන්ධව කටයුතු සිදු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.





